පුද්ගලයකු පැහැරගෙන ගොස් සිරකර තැබීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු විත්තිකරුවන් පස් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සලකුණු රෙජිස්ට්රාර් කාර්යාලයේ නිලධාරියකු කැඳවා පළමුවන විත්තිකාර නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිශ්ශංක පෙරේදා (21) නියෝග කර තිබෙනවා.
මෙහිදී රජයේ නීතිඥවරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියාසිටියේ අධි චෝදනා භාරදීමෙන් පසු පළමුවන විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට ගිය අවස්ථාවේ ඔහුගේ ඇඟිලිවල ස්වභාවය අනුව ඇඟිලි සලකුණු ලබා ගැනීමට අපහසු බව පොලිස් නිලධාරීන් පවසා තිබෙන බවයි.
ඒ නිසා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සලකුණු රෙජිස්ට්රාර් කාර්යාලයේ නිලධාරියකු ගෙන්වා ඇඟිලි සලකුණු ලබාගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරිය ඉල්ලා සිටියා.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කොට තිබෙනවා.
උඩුගම පොලිස් වසමෙ ගල්ලන්දලදී 2009 සැප්තැම්බර් 07 වන දින පැමිණිල්ල නොදත් අන් අය සමඟ එක්ව අතුකෝරල ආරච්චිගේ නජිරාන් සෙනවිරත්න යන අය පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා ගෙන මරණ බවට තර්ජනය කර සාපරාධී බලහත්කාරය පෑම නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම ඇතුළු අධි චෝදනා 09ක් යටතේ නිශාන්ත මුතුහෙට්ටිගම, උඩුගම විතානගේ ලලිත් ධම්මික, සෙනවිරත්න ඈපාගේ දිමුතු ප්රදීප්, නිරාඡ් අසංක ජයවර්ධන සහ විදානකාරියකරණගේ හසිත අකලංක යන විත්තිකරුවන් පස් දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.
දකුණු පළාත් සභාවට නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා 2009 පැවති පළාත් සභා මැතිවරණයේ ගාල්ල දිස්ත්රික් අපේක්ෂකයකු වූ සජින් වාස් ගුණවර්ධනගේ ගල්ලන්දල කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස පැමිණිලිකරු කටයුතු කරමින් සිටියදී සිද්ධිය වූ දින උදෑසන විත්තිකරුවන් පැමිණ මුතුහෙට්ටිගමගේ කාර්යාලයක් කැඩූ බවට චෝදනා කරමින් පැමිණිලිකරු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගෙන සාපරාධී බලහත්කාරය පා ඇති බව පැමිණිල්ල කියා සිටියේ.
නඩුව වැඩිදුර විභාගය මාර්තු 21 වනදාට කල්තබනු ලැබුවා.
සුගතපාල දීයගහගේ