Home Hit ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊශ්‍රායලයෙන් පිටුවහල් කරයි

ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊශ්‍රායලයෙන් පිටුවහල් කරයි

533

වන්දනා කටයුතු සදහා ඊශ්‍රායලය වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් එරට රජය මගින් පිටුවහල් කර ආපසු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබෙනවා.

මොවුන් ජෙරුසෙලම, නාසරෙත් ඇතුළු ඊශ්‍රායලයේ ජේසු උපත සිදුවූ ස්ථාන නැරඹීම සහ වන්දනා කිරීම සදහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය කතෝලික බැතිමතුන් පිරිසක් වන අතර, ඔවුන් පිළිබඳව එරට ඔත්තු සේවා මගින් සපයන ලද තොරතුරු මත මෙසේ මෙම පිරිස පිටුවහල් කළ බව අනාවරණය වී තිබෙනවා.

ඊශ්‍රායලයේ ආගමන – විගමන නීති සහ රෙගුලාසි මත මෙම පිරිස මෙසේ පිටුවහල් කළ බව එරට රජය දන්වා එවා ඇති අතර , එහෙත් මෙම පිරිස නීත්‍යානුකූලව ඊශ්‍රායලයේ සංචාරය සදහා ගොස් ඇති බවයි මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකළ කටුනායක ගුවන් තොටුපළ ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් නිරීක්ෂණය කර ඇත්තේ.

මොවුන් ඊයේ (20) දින සවස 6.45ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ AI – 282 දරන ගුවන් යානයෙන් 43 දෙනෙකු ද අද (21) දින අලුයම 3.45ට ඉන්දීය ගුවන් සේවයේ AI – 283 දරන ගුවන් යානයෙන් 10 දෙනෙකු ද මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පිටුවහල් කර එවා තිබෙනවා.

එමෙන්ම මෙම කණ්ඩායමට අයත් තවත් 18 දෙනෙකු අද දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත එසේ පිටුවහල් කර එවන බවට ඊශ්‍රායල රජය විසින් දන්වා එවා තිබෙනවා.

මොවුන් සියලු දෙනා කුළියාපිටිය, වෙන්නප්පුව, මීරිගම ආදී ප්‍රදේශ වල පදිංචි සිංහල ජාතිකයන් වන අතර මෙයින් 49 ක් පිරිමි ද 04 ක් කාන්තාවන්ද වනවා.

කටුනායක ගුවන් තොටුපළ සහකාර පාලකවරයාගේ උපදෙස් පරිදි මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here