Home Hit ග්ලයිෆොසෙට් තහනමට මුල් වූ ලාංකීය විද්‍යාඥයින් දෙදෙනාට අමරිකාවෙන් කැපිල්ලක්

ග්ලයිෆොසෙට් තහනමට මුල් වූ ලාංකීය විද්‍යාඥයින් දෙදෙනාට අමරිකාවෙන් කැපිල්ලක්

1158
0

ගෝලීය වශයෙන් තහනමට ලක්ව ඇති ප්‍රබල වල්නාශකයක් වන ග්ලයිෆොසයිට් සම්බන්ධව වන නීති රීති මේ වන විට තවත් දැඩි වෙමින් පවතිනවා.

මේ සම්බන්ධයෙන් නැවතත් කතාබහට ලක්ව ඇත්තේ අමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට තරගවදින කොංග්‍රස් සභික තුල්සි ගබාඩ් (Tulsi Gabbard) විසින් ග්ලයිෆොසයිට් තහනමට ලක්කළ යුතු බව අවධාරණය කිරීමත් සමඟයි.

මෙම ග්ලයිෆොසයිට් අමරිකාවේ බේය සමාගමට අනුබද්ධ ආයතනයක් වන මොන්සැන්ටෝ (Monsanto) නමැති ගෝලීය කෘෂි රසායනික දැවැන්තන් විසින් නිෂ්පාදිත ‘රවුන්ඩ් අප්’ (Roundup) කෘෂි රසායනයේ ප්‍රබල සංඝටකයක් ලෙස හඳුන්වාදිය හැකියි.

මීට පෙරත් මෙම රසායනිකය තහනම් කරන ලෙස ලොව පුරා ප්‍රකාශයට පත් කෙරුණේ එය ප්‍රබල පිළිකාකාරකයක් වීමත් ඉන් වකුගඩු සඳහා දැඩිසේ බලපෑම් එල්ල කිරීමත් නිසා බව පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙනවා.

එවන් වටපිටාවක ශ්‍රී ලාංකික විද්‍යාඥයින් දෙදෙනෙකු වන සරත් ගුණතිලක සහ චන්න ජයසුමන (රසායනික සහ කෘෂි) විසින් කරන ලද පර්යේෂණ පාදක කර ගනිමින් ලංකාවේ සහ ලෝකයේ ග්ලයිෆොසයිට් තහනම සම්බන්ධයෙන් කතාබහට ලක්වුණා.

ඒ අනුව ගෝලීයව තහනමට ලක්වූ ග්ලයිෆොසයිට් විද්‍යාත්මක පදනමින් සාක්ෂි සහිතව තහනම් කිරීමට මෙම ලාංකීය විද්‍යාඥයින් දෙදෙනාගේ පර්යේෂණ පාදක වී තිබෙනවා.

ග්ලයිෆොසයිට් සම්බන්ධව පවතින අහිතකර තත්වය පර්යේෂණාත්මකව සොයාගැනීම නිසා විද්‍යා ප්‍රවර්ධනය සඳහා වන අමරිකානු සංගමය (AAAS) විසින් ලාංකීය විද්‍යාඥයින් දෙදෙනාට 2019 වසර සඳහා හිමි ”විද්‍යාත්මක නිදහස සහ පරිපූර්ණත්වය සම්මානය” ලබාදීමට තීරණය කළ බව ප්‍රකාශයට පත් කළා.

නමුත් 2019 පෙබරවාරි 04 වනදා AAAS විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වුයේ,

”සරත් ගුණතිලක සහ චන්න ජයසුමන යන විද්‍යාඥයින් දෙදෙනාගේ සොයාගැනීම් ග්ලයිෆොසයිඩ් ටහනම බලාත්මක කරන්න බලවත් සාධකයක් වුණා. ඔවුන්ගේ සොයාගැනීම් නිසා කෘෂි රසායන මාෆියාව මඟින් ඔවුන්ට මරණ තර්ජන පවා එල්ල වුණා. මෙම විෂ රසායනිකය හේතුවෙන් විද්‍යාඥයින් දෙදෙනාගේ මවු රට වන ශ්‍රී ලංකාවේ වසරකට 10,000කට වැඩි පිරිසක් වකුගඩු සහ පිළිකා රෝගයන්ගෙන් පීඩාවට පත්වනවා. ඒ අනුව ග්ලයිෆොසයිඩ් තනමේ වැදගත්ම සාධකය වන්නේ විද්‍යාඥයින් දෙදෙනාගේ සොයාගැනීමයි. එම දායකත්වය වෙනුවෙන් 2019 වසරට අදාළව මෙම සම්මානය පිරිනැමීමට තීරණය කර තිබෙනවා.” යනුවෙනුයි.

නමුත් ඊට පසුදාම එම ආයතනයේ මානව හිමිකම් සහ නීතිය පිළිබඳ අධ්‍යක්ෂිකා (Jessica Wyndham) විද්‍යුත් ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ එම සම්මානය ලබාදීම තාවකාලිකව අතිහිටුවා ඇති බවයි.

ඒ සමඟම කලින් නිකුත් කළ නිවේදනය ද නැවත කැඳවා තිබෙනවා.

ඊට හේතු ලෙස එම විද්‍යුත් ලිපියේ සඳහන් කර ඇත්තේ, ආයතන කිහිපයකින්ම (නම් නොකරන ලද) එම සම්මානය ලබා දීම සම්බන්ධව AAAS මඟින් ඊට හේතු වූ සාධක විමසා තිබීම බවයි.

මෙම පර්යේෂණය සම්බන්ධයෙන් විශේෂ අධ්‍යනයක් සිදුකළ යුතු බවත් ඊට ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සම්බන්ධ කරගන්නා බවත් අවශ්‍ය නම් එම විමර්ශන කටයුතු සඳහා විද්‍යාඥයින් දෙදෙනාට සහභාගී වීමට අවකාශය ඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

මූලික විමර්ශන වලින් අනතුරුව දෙවන පියවර සම්බන්ධයෙන් තීරණ ගැනීමෙන් අනතුරුව ඒ ගැන දැනුම් දෙන බවත් එහි සඳහන්.

එම ආයතන අධ්‍යක්ෂිකාව විද්‍යාඥයින් දෙදෙනාගෙන් ඉල්ලා ඇත්තේ ගුවන් ටිකට් අත්හිටුවා තබා ගන්නා ලෙසත් අධ්‍යනයෙන් අනතුරුව ඔවුන් දෙදෙනාගේ ගමන් වියදම් සියල්ල ලබා දෙන බවත්ය.

මේ ලිපිය ලියන වෙලාවේ පවා මේ සම්බන්ධයෙන් විමසීමට කිසිම අයුරකින් AAAS අධ්‍යක්ෂිකා සම්බන්ධ කර ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

සිද්දිය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් ජයසුමන විද්‍යාඥයා සඳහන් කර සිටින්නේ, ” මෙම සිදුවීම අපට කළ අපහාසයක්. එක්තරා පිරිසකට කළ නිග්‍රහයක් ලෙසයි අපි දකින්නේ. අපි දුප්පත්, තුන්වන ලෝකයේ රටක විද්‍යාඥයින් විදියට කුඩම්මාගේ සැලකිළි තමයි අපිට හිමිවෙලා තියෙන්නේ. අපි ලඟින් ඇසුරු කරපු අය අපෙන් මේ ගැන අහනවා. මේ සම්බන්ධයෙන් දෙන්න පිළිතුරක්‌ නෑ. මේ සිද්ධිය පිටුපස ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන ඇති කියලා හිතනවා. ”

අමරිකානු ස්වාධීන පර්යේෂණ ආයතනය (US Right to know) සඳහන් කර ඇත්තේ මොන්සේන්ටෝ ආයතනය AAAS ආයතනයට සිදුකරන ලද පීඩනය මත එම සම්මානය ලබාදීම හකුළා ගන්නට ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here