Home Local මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ දිවි අහිමි කර අදට වසර 29 යි

මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ දිවි අහිමි කර අදට වසර 29 යි

509
0

සුප්‍රසිද්ද මාධ්‍යවේදියෙකු , නිවේදකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ,ලේඛකයෙකු සහ රංගන ශිල්පියෙකු වූ රිචඩ් ද සොයිසා 1958 මාර්තු මස 18 වෙනි දින ශ්‍රී ලංකාවේදී උපත ලැබීය. 1990 පෙබරවාරි මස 18 වන දින හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔහුව පැහැරගෙන ගොස් නැති කරනු ලැබීය. ඒ සම්බන්ධයෙන් එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයට සහ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දෙසට ජනතා ඇඟිල්ල දිගු විය.

ප්‍රකට මාධ්‍යවේදියෙකු වූ රිචඩ් ද සොයිසා ආරක්ෂක අංශ මගින්රා ජගිරිය වැලිකඩ වත්තේ 1990 පෙබරවාරි 18 අළුයම 3.30ට පැහැර ගැනීමෙන් පසුව නැති කරනු ලැබූ බවටයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඉහළ මධ්‍යම පන්තියට අයත් රිචඩ් උපන්නේ 1958 මාර්තු 18ය. ඔහු මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක්, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක්, රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයෙක්, සිනමා නළුවෙක්, වේදිකා රංඟ ශිල්පියෙක් සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් වශයෙන් කටයුතු කල අයෙකි. යුගාන්තය සහ සත්‍යග්‍රහය ඔහු රඟපෑ සිනමා නිර්මාණ වූ අතර යශෝරාවය ටෙලි නාට්‍යයෙන් ඔහුගේ රංගන කුසලතා විදහා දැක්විණි.

මියයන විට 32හැවිරිදි වියේ පසු වූ රිචඩ්ගේ පියාවු ලූෂන් ද සොයිසා සිංහල ජාතිකයෙක් වූ අතර මව වූ වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු ද්‍රවිඩ ජාතිකයෙකි. ඇයගේ පියා වූ මනිකැස්තෝයි සරවනමුත්තු ප්‍රකට මාධ්‍යවේදියෙක් සහ විදේශ දූත සේවා නිළධාරියෙකි. රිචඩ් ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර සොයුරු සොයුරියන් වූයේ මයිකල් සහ ලානාය. රිචඩ් ද ‍සොයිසා මියයන විට සංවර්ධනය වන රටවල් පිළිබද සුවිශේෂි අවධානයක් යොමුකල ඉන්ටර්ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරුය. රිචඩ් නැති වූයේ පෘතුගාලයේ ලිස්බන් නුවර ඉන්ටර්ප්‍රෙස් කාර්යාලයේ රාජකාරි භාරගැනීමට ‍ගිවිසගෙන තිබියදීය.

ලේඛකයාට රිචඩ් සමීපව ඇසුරු කිරීමට හැකි වූයේ 1986 විමසුම් ඇසින් නම් විනාඩි 30 රූපවාහිනී වැඩසටහන අර්ජුන රණවන සමඟ රූපවාහිනියට ඔහු නිෂ්පාදනය කල බැවිනි. රවිනාථ ආරියසිංහ මෙහෙය වූ එම වසරේ වැඩසටහන් 11කට ලේඛකයා සහභාගි වූ අතර එයට සහභාගි වූ රජයේ අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න විමසන ලද්දේ ලේඛකයා විසිනි.

ජවිපෙ ඉහළම පෙළේ නායකත්වය සමඟ කටයුතු කරමින් ජවිපෙට හිතවත්ව වැඩකර තිබීම රිචඩ් නැති කිරීමට හේතුව විය. ජවිපෙ දේශපාලන මණ්ඩලයේ ඉහළම සාමාජිකයින් තිදෙනෙකුට මෙන්ම ජවිපෙ ඉහළ ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙකුට රිචඩ් ද සොයිසා දෙවන කැරැල්ලේදී සහාය ලබාදී තිබිණි. දෙවැනි වූ නායකයා වූ දේශපාලන මණ්ඩල සභික ඩී.එම්. ආනන්ද සහ ඉන්දීය තානාපති කාර්යාලය හරහා ඉන්දීය පර්යේෂණ සහ විශ්ලේෂණ කාර්යාංශය වන රෝ සංවිධානය සමඟ සම්බන්ධකම් ඇතිකරදීමට රිචඩ් ද සොයිසා මැදිහත්වී තිබිණි.

දේශපාලන මණ්ඩල සභික සහ ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නායක සමන් පියසිරිටද අවස්ථා කිහිපයකදී රිචඩ් විසින් උදව් ලබාදෙන ලදී. සමන් පියසිරි 1989 දෙසැම්බර් 27 රාත්‍රියේ නාවල කොස්වත්තේ නිවසකදී ජේෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණසේකර ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එම නිවසේ හිමිකරු වූයේ ගුවන් විදුලියේ ජේෂ්ඨ මාධ්‍යවේදී මාක් ඇන්තනි ප්‍රනාන්දුය. එම නිවස සමන් පියසිරිට ලබාදීම සඳහා මාක් ඇන්තනි ගෙන් ලබාගෙන තිබුණේ රිචඩ් ද සොයිසාගේ ඉල්ලීමකට අනුවය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සෝමවංශ අමරසිංහට ඔහුගේ බිරිඳ අයිරාංගනී සහ පුතා සමඟින් මාස දෙකක් තිස්සේ මාලඹේ ප්‍රදේශයේ රහසිගතව ජිවත්වීමට නිවසක් පරිත්‍යාග ‍කළේද රිචඩ්ගේ මැදිහත්වීමෙනි.

මෙම කණ්ඩායම රිචඩ්ගේ නිවස පිහිටි ස්ථානය අසා ගත්තේ අලුයම 3.15ට කෙනත් හොන්ටර්ගේ නිවසට ගොස් ඔහුගෙනි. ජනප්‍රිය රූපවාහිනී නිවේදිකා නොයලින් හොන්ටර්ගේ සැමියා වූයේ කෙ‍නත්ය. ජේෂ්ඨ මාධ්‍යවේදී අර්ජුන රණවනට, කෙනත් හොන්ටර් මේ පිළිබදව එම මොහොතේම සිද්ධිය ගැන සැකසිතා දැන්වූ අතර අර්ජුන රණවන ඒ පිළිබදව ජේෂ්ඨ පොලිස් අධිකාරි හෙන්රි පෙරේරාට එම මොහොතේදිම දන්වනු ලැබීය. පසුව රිචඩ් නාවල වැලිකඩවත්තේ නිවසේ සිටියදී 1990 පෙබරවාරි 18 අලුයම 3.30ට රැගෙන ගියේය. රිචඩ්ගේ මවට කියා නිවසේ දොර බලෙන් ඇරවාගත් ආයුධ සන්නද්ධ කණ්ඩායම උඩුමහළට ගොස් සරම පිටින්ම සිටි රිචඩ්ව ඇදගෙන ගොස් අංක 32ශ්‍රී 4748 දරණ කොලපාට ජිප් රථයට නංවා ගන්නා ලදී. රිචඩ්ගේ මව පැහැරගැනීම ‍පිළිබදව වැලිකඩ පොලිසියට පැමිණිලි කළේ අලුයම 4.15ටය. පැහැරගෙනයාම දුටු අනෙක් 6 දෙනා වූයේ ඉන්ටර්ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයේ මාධ්‍ය සහායක ගාල්ලේ ඇලටිය විතානගේ කරුණාදාස සහ ඔහුගේ බිරිද එල්. එම්. මල්ලිකා, වෛද්‍ය සරවණමුත්තුගේ ගෘහ සේවිකාව වූ සරස්වතී සමඟින් යට තට්ටුවේ පදිංචිව සිටි ඇල්ලේපොල යුවල සහ අසල් වැසියෙකු වූ උනන්තැන්නය.

පසුව රිචඩ් ද සොයිසාගේ සිරුර හමු වූයේ 1990 පෙබරවාරි 19 පස්වරු 4ට පමණ මොරටුව කොරළවැල්ල දුම්රිය ස්ථානය අසළ මුහුදු වෙරළිනි. මුහුදේ රළගෙඩි අතරින් පාවීඑන මිනිසෙකුගේ සිරුරක් ප්‍රථමයෙන් දුටුවේ ධීවර බෝට්ටු හිමියෙකු වන මාකස් ප්‍රනාන්දුය. ඔහුගේ සොහොයුරු නිමල් ප්‍රනාන්දුද ඒ අසළ විය. බෙහෙවින් ඉදිමී තිබූ එම මළසිරුර හඳුනා ගැනීම අසීරු විය. මොරටුව පොලිසිය මගින් රටපුරා සෑම‍ පොලිස් ස්ථානයකටම පණිවිඩයක් යැවිණි. වැලිකඩ පොලිසියෙන් ඒ ආරංචිය රිචඩ්ගේ මවටද පස්වරු 6.00ට නිවසට පැමිණ දැන්වූයේය. කළුබෝවිල රෝහලට ගිය ඇයට සිය පුතණුවන් හඳුනාගැනීමට අසීරු වූයේ නැත.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ. නඩේසන් විසින් රිචඩ්ගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූයේ 1990 පෙබරවාරි 20දාය. එහි සිටි මාධ්‍යවේදීන් අතර ලේඛකයාද විය. මරණ පරික්ෂණයේදී හෙළි වූයේ රිචඩ්ගේ ගෙල සහ වම් කන අසලට වැදුනු දෙකක් නිසා ක්ෂණිකව මෙය සිදුවී ඇති බවය. වම් කම්මුලේ කනට මදක් පහළින් වැදුණු එක් කන් අඩිය පසාරු කරගෙන ගොස් තිබූ අතර බෙල්ලේ ඉදිරිපසින් වැදුණු අනෙක බෙල්ල හරහා ගොස් පසුපසින් පිටව ගොස් තිබූ බවය. 4ක් වැදී තිබිණි. පසුව අනාවරණය වූයේ 1990 පෙබරවාරි 18 අලුයම 3.30ට ජේෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහගේ මෙහෙයවීමෙන් පැහැරගත් රිචඩ් පැහැරගැනීමෙන් පසු එම මොහොතේම ගල්කිස්ස මුහුදු වෙරළට ගොස් ගොස් නැති කර ගල්දමා ගැටගැසූ මළ සිරුර මුහුදේ බෝට්ටුවක් මගින් කෙටි දුරක් ගොස් විසිකර දැමීමට කටයුතු කල බවය. රිචඩ්ගේ දේහෞඅ තැන්පත් කර තිබුණේ කාසල් වීදියේ අංක 42 දරණ ස්ථානයේ පිහිටි රිචඩ්ගේ මහගෙදරය.

මේ සම්බන්ධයෙන් 1990 අප්‍රේල් 23 ටයිම්ස් සඟරාවේ ලිපියක් පල වූ අතර රජය එය බෙදාහැරීම සහ අළෙවිය තහනම් කළේය. ටයිම්ස් සඟරාවේ සඳහන් වූයේ ආණ්ඩුවේ කල්ලිවල කටයුතු විදහාපාන ප්‍රවෘත්ති ලිවීම මෙන්ම මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් විදේශ සංවිධානවලට තොරතුරු දැන්වූ රිචඩ් ද සොයිසා බලවත් තර්ජනයක්ව තිබූ බැවින් නැති කරන්නට ඇති බවය. රිචඩ් ගේ සිදුවීමෙන් පසු 1990 මැයි 10 රාත්‍රී 9.00ට ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති බලමින් සිටි ඔහුගේ මවට රිචඩ් පැහැරගෙන ගිය පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා සිටිනු දැකගන්නට ලැබිණි. ඒ පොලිස් පරික්ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචා‍ගොඩය. එය අධිකරණයට දැනුම් දුන් පසු මහේස්ත්‍රාත් රෝහිණී පෙරේරා නියෝග ‍කළේ ඔහු අත්අඩංගුවට ගනු ලෙසය. එහෙත් රාජ්‍ය ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නගේ උපදෙස් අනුව එය ක්‍රියාත්මක කිරීමට පොලීසියට නොහැකි විය.

රිචඩ් රැගෙන යෑම සම්බන්ධයෙන් ජේෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් කටයුතු කල පිරිසට කොටුව පොලි‍සියේ ස්ථානභාර පොලිස් පරික්ෂකවරයෙක්ද කොම්පඤ්ඥවීදියේ පොලිස් පරික්ෂ‍කයෙක් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් අයත් වූහ. රොනී ගුණසිංහ සැලසුම අනුව රිචඩ් පැහැරගැනීමට පොලිස් පරික්ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචා‍ගොඩ පැමිණියේ සුදුපාට ෂර්ට් එකක් සහ සුදුපාට කොට කලිසමක් ඇද සුදුපාට කැප් එකක්ද දමා ගෙනය.

ජේෂ්ඨ පොලිස් අධිකාරි ‍ගොඩ්ෆ්‍රි ගුණසේකර සමඟ පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා පරික්ෂණ භාරව කටයුතු කළේය. රහස් පොලිසියේ පොලිස් අධිකාරි යසසිරි සමරතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ මෙහෙයවීය. එම පරික්ෂණවලට අනුව පොලිස් පරික්ෂක ලාල් ක්‍රිෂාන්ත ධර්මසිරි රංචා‍ගොඩ, පොලිස් පරික්ෂක එම්.ජී.ජී. දේවසුරේන්ද්‍ර, පොලිස් සැරයන් වෙඩික්කාර‍ගේ සරත්චන්ද්‍ර යන අය අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයෙන් අනතුරුව කොළඹ අලුත්කඩේ මහාධිකරණය ඉදිරියේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරන ලදී. මහාධිකරණ විනිසුරු රෝහිණී පෙරේරා ඉදිරියේ නඩු විභාග විය. චූදිතයින්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා වූයේ රිචඩ්ද සොයිසා නැති කිරීමේ අරමුණ ඇතිව පැහැරගෙන ගොස් නැති කර ඇති බවය. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිනීතිඥ බැටී වීරකෝන් ඇතුළු පිරිසක් පෙනී සිටියහ.

වසර 15කට පසු නඩුවේ තීන්දුව නිකුත්වූයේ 2005 වසරේ ‍නොවැම්බර් 9ය. චූදිතයෝ සියල්ලෝම කොළඹ මහාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය. රිචඩ්ගේ සිද්ධියෙන් පසු ඒ පිළිබදව සියළු පරික්ෂණ පවත්වාගෙන යෑම සඳහා ඉන්ටර්ප්‍රෙස් ප්‍රවෘත්ති ආයතනයේ මාධ්‍ය සහායක කරුණාදාස ගෙන් ලැබුණේ සහායකි. එල්ල වූ තර්ජන හේතුවෙන් උඩහමුල්ලේ පදිංචි කරුණාදාස වසර 2කට ආසන්න කාලයක් නවාතැන් ගත්තේ ඇමති ලලිත් ඇතුලත්මුදලිගේ නිවසේදිය.

පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් කොමිසමක් පත්කරන ලෙසට 1990 මාර්තු 20 විපක්ෂය මගින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි අතර එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න කියා සිටියේ සෑම සිද්ධියකටම කොමිසමක් පත්කිරිමට නොහැකි බවය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කොමිසමක් පත්කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු විපක්ෂය විසින් ඒකාබද්ධ යෝජනාවක් 1990 සැප්තැම්බර් මස ඉදිරිපත්කල අතර එයට සිරිමා බණ්ඩාරනායක ඇතුළු මන්ත්‍රීවරුන් 21දෙනෙක් අත්සන් කර තිබිණි. පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට එය ඇතුළත් කලද පාර්ලිමේන්තුව විසුරුවන තුරු ඒ පිළිබදව කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් සිදු නොවීය. පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව 1994 බලයට පැමිණීමෙන් පසුද රිචඩ්ගේ සිද්දිය සම්බන්ධයෙන් විපක්ෂයේ සිටියදී ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් එජාප ආණ්ඩුවෙන් ඉල්ලා සිටි කොමිසමක් පත්කිරීමද ඔවුන්ගේම පොදු පෙරමුණේ ආණ්ඩුවෙන්ද සිදු වූයේ නැත.

රිචඩ්ගේ සිද්ධියේ පසු ඔහුගේ මව වන වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු ජවිපෙ 2වන කැරැල්ලේදී නැති කර දැමූ සහ අතුරුදහන්කල දූ පුතුන්ගේ මව්වරුන් සහ වැන්දඹු බිරින්දෑවරුන් දහස් ගණනකගේ අයිතීන් වෙනුවෙන් මව් පෙ‍රමුණේ සභාපතිනිය වශයෙන් සුවිශේෂ කාර්යභාරයක්ද ඉටු කළාය. මව් පෙරමුණේ මංගල ජාතික සමුළුව කොළඹ නව නගර ශාලාවේ පැවැත්වූයේ 1991 පෙබරවාරි 19 රිචඩ්ගේ සිද්ධියෙන් හරියටම වසරකට පසුවය. වැලිකඩවත්තේ නිවස අතහැර කොල්ලුපිටියේ ජයවර්ධන මාවතේ නිවසක හුදකලාවේ ජීවත්වී 2001 පෙබරවාරි 14 ජීවිතයෙන් සමුගත්තාය.

රිචඩ් ද සොයිසාට ඉන්ටර්ප්‍රෙස් ප්‍රවෘත්ති ආයතනය මගින් 1990දී විශිෂ්ඨතම ඇගයීමේ සම්මානයක්ද පිරිනමන ලදී. රිචඩ්ගේ සිද්ධියෙන් වසර 19කට පසු ඔහු පිළිබදව බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවය විනාඩි 60ක චිත්‍රපටියක්ද 2008 දෙසැම්බර් මස නිෂ්පාදනය කළේය. එමෙන්ම රිචඩ් ද සොයිසාගේ මව පිළිබදව ‘ඩේ ඩාන්සින් අලෝන්’ නමින් බන්ධුල ගුණවර්ධන නිෂ්පාදනය කරමින් නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණයකර රූගත කිරීමට සිටි චිත්‍රපටිය ආරක්ෂක අමාත්‍යංශය මගින් 2015 පෙබරවාරි 13 වාරණය කරන ලදී. රිචඩ් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ 1993 මැයි 01 ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සමඟ නැති විය…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here