Home Local තංගල්ල නගරසභාවේ ලේකම්වරයා ධුරයෙන් ඉවත් කිරීමට ගෙනා යෝජනාව වැඩි ඡන්ද 02කින් සම්මත...

තංගල්ල නගරසභාවේ ලේකම්වරයා ධුරයෙන් ඉවත් කිරීමට ගෙනා යෝජනාව වැඩි ඡන්ද 02කින් සම්මත වෙයි

343
0

තංගල්ල නගරසභාවේ ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කළ යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අනිල් සෙල්ලාහැන්නදි යෝජනා ඉදිරිපත් කළ අතර එම යෝජනාව සම්මත කිරීම සම්බන්ධයෙන් සභාවේ මන්ත්‍රීවරු අතර පැවැති ඡන්දය වැඩි ඡන්ද 02කින් අද(18) තංගල්ල නරසභාවේදී සම්මත වුණා.

පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීවරු 07දෙනාත්, යෝජනාව ඉදිරිපත් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයාත් යෝජනාවට පක්ෂවද, සභාපතිවරයා ඇතුළුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 06දෙනෙකු යෝජනාවට විපක්ෂවද ඡන්දය ප්‍රකාශ කළා.

ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු දෙදෙනාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අරලිය එරන්දිම මන්ත්‍රීවරයාත්, එක්සත් ජාතික පක්ෂයේ ගනේෂ් ප්‍රියංකර මන්ත්‍රීවරයාත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

තංගල්ල නගරසභාවේ ලේකම්වරයා සිදුකරගෙන යන ක්‍රියාකලාපය නිසා සභා රැස්වීම් කටයුතු සහ පරිපාලන කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇති අතර ලේකම්වරයාගේ නොමනා ක්‍රියා කලාපය මත ඔහු පිළිබදව විශ්වාසය කඩ වී ඇති නිසා මෙම යේජනාව ඉදිරිපත් කරන බව අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයා පැවසුවා.

නගරසභාවේ වාර්තා නියමිත පරිදි සකස් නොකර ඉදිරිපත් කිරීම, යම් යම් පාර්ශව වලට වාසි සහගත වන පරිදි ලේකම්වරයා සභා වාර්තා වෙනස් කර පක්ෂග්‍රාහීව කටයුතු කිරීම, නීතියට පටහැනි ලෙස සභා රැස්වීම් කැඳවා සභා රැස්වීම් වලදී මන්ත්‍රීවරු විසින් යෝජනා අදහස් ආදිය විකෘති කර සභා වාර්තා වල සටහන් කිරීම මගින් වෙනත් පාර්ශව වලට අවශ්‍ය වන පරිදි කටයුතු කිරීම, සභාව අපහසුතාවට සහ විගණන අධිභාරයට ලක්වන යෝජනා ලේකම්වරයා විසින් දැන දැනම න්‍යාය පත්‍රවලට ඇතුළත් කර සභා අනුමැතිය ලබා ගැනීමට තැත් කිරීම, නගරසභා ආඥා පනතෙහි බලතල වලට ප්‍රකාරව සභාව මගින් ලේකම්වරයාට පවරන ලද කාර්යයන් ඉටු කිරීම පැහැර හැරීම, සභා නීති රීති වලට පටහැනිව අවිධිමත් ලෙස සභා රැස්වීම් පවත්වාගෙන යාමට කටයුතු කිරීම ආදී කරුණු ලේකම්වරයා සම්බන්ධයෙන් විශ්වාසය කඩ වීමට හේතු වී ඇතැයි අනිල් සෙල්ලාහැන්නදි මන්ත්‍රීවරයා පවසා සිටියා.

මෙම ලේකම්වරයා සභාවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ අවධියේදී තංගල්ල නගරසභාවේ මූල්‍ය විගණනයක් සම්බන්ධයෙන් දකුණු පළාත් ගිණුම් කාරක සභාවේ පරීක්ෂණණයක් පැවැත්වෙමින් තිබියදී එම ලේකම්වරයාම තංගල්ල නගරසභාවේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස මේ වන විටත් කටයුතු කිරීම නිසා එම කටයුතු විනිවිද භාවයකින් තොරවීම නිසාද ඔහු විසින් අනුමැතිය ලබා දී ඇති ගොඩනැගිලි ඉදිකිරීම් ගණනාවක් අක්‍රමිකතා සහිතව අනිසි ලෙස ඉදිකර ඇතැයි පැමිණිලි ඇතැයිද එමගින් නගරසභා ආඥා පනතේ 226 වගන්තිය උල්ලංඝණය වී ඇතැයිද අනිල් සෙල්ලාහැන්නදි කියා සිටියා.

ලේකම්වරයා නගරසභා සේවකයකුට හිමි වරප්‍රසාද අභිබවා අයුතු ලෙස සභාවේ සම්පත් භාවිත කළ බවට පැමිණිලි ඇතැයිද ඔහු සඳහන් කර සිටියා.

ලේකම්වරයා සභාවේ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස සිටි කාලයේදී කළ ඉදිකිරීම් විවිධ දූෂණ වලින් යුතු බවටද මේ හේතුවෙන් පාරිබෝගිකයන් කිහිප දෙනෙකු ඔහුට විරුද්ධව පැමිණිලි කර තිබීම නිසා නගරසභා ආඥා පනතේ 21(1) සහ 21(2) වගන්ති උල්ලංඝණය කර ඇතැයිද පැවසූ ඔහු රජයේ නිලධාරියකුට හිමි වරප්‍රසාද අහිමි කරමින් ලේකම්වරයා එකම ආයතනක දීර්ඝ කාලයක් තිස්සේ සේවය කිරීම නිසා අනෙකුත් සේවකයනට හිමි වරප්‍රසාද අහිමි කර ඇතැයිද මෙම කරුණු සියල්ලම ලිඛිතව ඔප්පු කළ හැකි බවද කියා සිටියා.

මෙම කරුණු හේතුවෙන් දැනට තංගල්ල නගරසභාවේ සේවයේ නියුතු ලේකම්වරයා එම තනතුරෙහිම තවදුරටත් සේවය කිරීමට විරුද්ධ බවද එම ධූරයෙන් ඔහු ඉවත් කරන ලෙසද ලබන සභා වාරයට පෙර මේ පිළිබදව පරීක්ෂණයක් සිදුකර එම සභාවාරයේදී ඔහු ඉවත් කිරීමේ කටයුතු සිදුකරන ලෙසද යෝජනා ඉදිරිපත් කර සිටියා.

සභාවේ සිටින ලේකම්වරයා පිළිබදව එක්වරම තීරණයක් ගැනීමට නොහැකි බවද මේ පිළිබදව නිසි පරීක්ෂණයක් පැවැත්වීමටද කටයුතු කරන බව සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි පැවසුවා.

පුද්ගලිකව සභාපතිවරයා තම නිලධාරීන්ට විරුද්ධව තීරණ ගැනීමේ හැකියාවක් නැතැයිද ඒවා වැළැක්වීමේ හැකියාවක් නැතැයිද කරුණු කාරණා ඔප්පු කළ හැකි නම් පමණක් මෙලෙස කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසද සඳහන් කර සිටියා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here