Home Local ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර වලින් ලන්ඩනයට යන්න තැත් කරපු ඉරාක පවුලක් අත්අඩංගුවට

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර වලින් ලන්ඩනයට යන්න තැත් කරපු ඉරාක පවුලක් අත්අඩංගුවට

353
0

යුරෝපා සංගමයට අයත් සයිප්‍රස් රාජ්‍යයේ බව හගවන ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට පලා යෑමට තැත් කළ ඉරාක ජාතික පවුලක සාමාජිකයන් තිදෙනෙකු අද (15) දින දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම පවුලේ පියා 35 හැවිරිදි වන අතර , මව 33 හැවිරිදි වියේ පසුවන්නියකි . ඔවුන්ගේ දියණිය 07 හැවිරිදිය .
මොවුන් ඉරාකයේ සිට තුර්කියේ , ඉස්තාන්බුල් නුවරට පැමිණ , පසුව ඩුබායි වෙත ගොස් , එතැන් සිට (11 ) දින අලුයම 1.30 ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඉන්පසු දින කීපයක් ශ්‍රී ලංකාවේ ගත කළ මොවුන් , මෙම සයිප්‍රසයට අයත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් අද (15) දින දහවල් 1.05 ට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන ගුවන් යානයට , කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිස ,එම ගුවන් යානයට නැගීමේ අවසර පත්‍ර ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ලබා ගෙන තිබුණි .
එහෙත් වහාම ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපළ ආගමන – ව්ගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , මොවුන් සතුව තිබූ මෙම ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ඒවා බව හදුනා ගෙන , ඔවුන් ගුවන් යානයට ගොඩ වීම වලක්වා , මොවුන් තිදෙනා අත් අඩංගුවට ගෙන තිබේ .
පසුව සිදු කරන ලද විමර්ශන වලදී , මොවුන් ශ්‍රී ලංකාවට පැමිණි ඉරාක ගුවන් ගමන් බලපත්‍ර , ඔවුන්ගේ ගමන් මලු වල සගවා ගෙන තිබියදී මෙම ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි .
මෙම පිරිස බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා ගැනීම සදහා මෙසේ පිටත්ව යෑමට පැමිණ තිබූ බව මෙම නිලධාරීන් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ .
කෙසේ වෙතත් මොවුන් තිදෙනා මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය මගින් ලන්ඩන් නුවරට ගෙන ගියේ නම් , මොවුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 60 ක පමණ දඩ මුදලක් එරට ගුවන් තොටුපළ බලධාරීන් වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගෙවීමට සිදු වන බව ආගමන – විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකුව පැවසීය .

(කටුනායක ටී.කේ.ජී.කපිල )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here