Home Hit ජාන සොරකමකට මෙරටදී නියම වූ වැඩිම දඩ මුදල සිංහරාජයේ ජාන කොල්ලයට

ජාන සොරකමකට මෙරටදී නියම වූ වැඩිම දඩ මුදල සිංහරාජයේ ජාන කොල්ලයට

550
0

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ ජාන කොල්ලයක් සම්බන්ධව වරද පිළිගත් ස්ලෝවැකියානු ජාතිකයන් පස්දෙනකුට රුපියල් එක් කෝටි අට ලක්‍ෂ පනස් දහසක දඩයක් කලවාන සංචාරක මහෙස්ත‍්‍රාත් දුලාන් වීරවර්ධන විසින් ඊයේ (13) නියම කරනු ලැබුවා.

මෙය ජාන සොරකමක් සම්බන්ධව ශ‍්‍රී ලංකාවේ අධිකරණයකින් නියම කරන ලද විශාලතම දඩ මුදල ලෙසයි සැලකෙන්නේ.

පසුගියදා මහත් ආන්දෝලනයට පාත‍්‍ර වූ මෙම ජාන කොල්ලය සම්බන්ධව අත්අඩංගුවට ගත් ස්ලෝවැකියානු ජාතික සැකකරුවන් පස් දෙනා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කලවාන අඩවි වන නිලධාරි ආර්. එම්. එල්. රණවීර ඇතුළු නිලධාරීන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

චෝදනා 37ක් යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරුවෝ වන රක්‍ෂණ ආඥාපනත යටතේ චෝදනා 17කට ද වන සත්ව වෘක්‍ෂලතා ආඥා පනත යටතේ චෝදනා 20කට ද වැරදිකරුවන් බවට අධිකරණයේදී පිළිගනු ලැබුවා.

ඒ අනුව රුපියල් එක් කෝටි අට ලක්‍ෂ පනස් දහසක මුදල් දඩයක් ද වසර 10කට අත්හිට වූ මාස 03ක සිරදඬුවම් ද මහෙස්ත‍්‍රාත්වරයා විසින් නියම කරනු ලැබුවා.

අදාළ දඩ මුදල අද (14) රත්නපුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ගෙවන ලෙස නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා අද දිනයේ ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළා.

දීර්ඝ නඩු විභාගයකින් පසු මෙලෙස වරදකරුවන් බවට පත්ව දඩ මුදල් නියම වූයේ මිචාන් නවාර් (66), එඞ්වඞ් සෙනාස්ති (58), මිචාල් රෙව්ටර් (39), ඉවාන් රෙව්ටර් (54), රැඩොස්ලැව් කොසෙකි (44) යන ස්ලෝවැකියානු ජාතිකයන් පස් දෙනායි.

සැකකරුවන් වෙනුවෙන් තරිඳු ඇරැව්වල, ප‍්‍රභාත් පේ‍්‍රමදාස, විජය තෙන්නකෝන්, හේමන්ත කරුණාදාස යන නීතිඥවරු පෙනී සිටියා.

රණසිංහ ආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here