Home Hit ඔම්බුඩ්ස්මන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිගෙන් යෝජනාවක්

ඔම්බුඩ්ස්මන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිගෙන් යෝජනාවක්

611

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාගේ (ඔම්බුඞ්ස්මන්) මාසික වැටුප සහ දීමනා ඉහළ දැමීමේ යෝජනාවක් අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔම්බුඞ්ස්මන්වරයාගේ මාසික වැටුප රුපියල් 135,000ක් ලෙසද, මාසික දුරකථන දීමනාව රුපියල් 10,000ක් ලෙස ද ඉහළ දමන බවයි යෝජනාවේ දැක්වෙන්නේ.

ඊට අමතරව ඔම්බුඞ්ස්මන්වරයාගේ මාසික ඉන්ධන දීමනාව ලීටර 225ක් ලෙස ප‍්‍රතිශෝධනය කෙරෙන බවයි ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු ඇමැතිවරයා වන අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ විසින් සිය යෝජනාව මගින් පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලබන්නේ.

මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ද හිමිව ඇති බව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ දැක්වෙනවා.

පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් වන අතර ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්වයි.

මෙම ධුරයේ වැටුප නිශ්චය කරනු ලබන්නේ පාර්ලිමේන්තුව විසින් බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වනවා.

රජයේ නිලධාරීන් විසින්, රාජ්‍ය සහ සංස්ථාවල, පළාත් පාලන ආයතනවල හා එවැනි වෙනත් ආයතනවල නිලධාරීන් විසින් සිදුකරනු ලබන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ අසාධාරණ ක‍්‍රියා පිළිබදවද කෙරෙන පැමිණිලි සහ චෝදනා පරීක්‍ෂා කර වාර්තා කිරීමේ කාර්යභාරය ඔම්බුඞ්ස්මන්වරයා වෙත පැවරී තිබෙනවා.

අජිත් අලහකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here