Home Entertainment ලෝක ගුවන්විදුලි දිනය අදයි

ලෝක ගුවන්විදුලි දිනය අදයි

722
0

යුනෙස්කෝ සංවිධානය විසින් සෑම වසරකම පෙබරවාරි 13 වනදින ”ලෝක ගුවන් විදුලි දිනය” ලෙස නම් කර තිබෙනවා.

ගුවන් විදුලි ශිල්පීන් අතර ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම, තොරතුරු ප්‍රවේශය වර්ධනය කිරීම උදෙසා ප්‍රධාන මාධ්‍ය ජාලයන් හා ප්‍රජා ගුවන්විදුලි සේවාවන් උනන්දු කරවීම, නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා ගුවන් විදුලි තරංග හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇතිකිරීම ආදීය මෙහි අරමුණ වනු ඇති.

රැහැන් රහිත විදුලි සංදේශ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1909 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය හිමිකරගත් ඉතාලි ජාතික ගුග්ලිඑල්මෝ මාර්කෝනි, ගුවන්විදුලියේ නිර්මාතෘ වනවා.

1920 දශකයේ සිට ගුවන්විදුලිය මෙරට ජන හදවත් වලට සමීප වූයේ රසාස්වාදය මෙන්ම දැනුම ද සපයමින්.

ලෝ වටා ගුවන්විදුලි මධ්‍යස්ථාන 44000කට වඩා පවතින බවයි යුනෙස්කෝ ආයතනය සඳහන් කරන්නේ.

එම ගණනය කිරීමට වෙබ් ගුවන්විදුලි නාළිකා ඇතුළත් නොමැති අතර සංවර්ධනය වෙමින් පවතින රටවල නිවෙස්වල 75%ක් ගුවන්විදුලි යන්ත්‍ර භාවිත කරනු ලබනවා.

සාක්ෂරතාව පහළ මට්ටමක පවතින අප්‍රිකානු ලතින් අ‍ෙමරිකානු රටවල සංවර්ධන, අධ්‍යාපනික පණිවිඩ ජනගත කරන වාහකයක් ලෙස ගුවන්විදුලිය හඳුනාගෙන තිබෙනවා.

ස්පාඤ්ඤ ගුවන්විදුලි ඇකඩමිය ලෝක ගුවන්විදුලි දිනය පිළිබඳ යෝජනාව යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කළේ 2010 සැප්තැම්බර් මාසයේදීයි.

යුනෙස්කෝ සංවිධානය මගින් ගුවන්විදුලි සංවිධාන, රාජ්‍ය පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම පොදුජන අදහස් විමසුමට ලක්කර ඇති අතර මෙම අරමුණ සඳහා 95%ක කැමැත්ත යුනෙස්කෝ සංවිධානයට ලැබි තිබෙනවා.

බී.බී.සී ආයතනය ඇතුළු ප්‍රමුඛ ගුවන්විදුලි සංවිධාන ලෝක ගුවන්විදුලි දිනය පිළිබඳ යෝජනාවට ප්‍රසාදය පළ කර ඇති අතර මෙම ආශීර්වාදාත්මක පදනම යටතේ 2011 සැප්තැම්බර් 29 වනදා යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටුව මගින් පෙබරවාරි 13 වන දින ”ලෝක ගුවන්විදුලි දිනය” ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පෙබරවාරි 13 වන දින ලෝක ගුවන්විදුලි දිනය ලෙස නම් කිරීමට හේතු වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගුවන්විදුලි සේවාවක් ආරම්භ කර තිබුණේ 1946 පෙබරවාරි මස 13 වනදා වීමයි.

ඒ අනුව යුනෙස්කෝ සංවිධානය ස්වකීය යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර 2011 වර්ෂයේ දී එය පිළිගැනීමට ලක්වුණා.

මේ අනුව 2012 වර්ෂයේ ලෝක ගුවන්විදුලි දිනය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් ස්වකීය රාජ්‍යවල පැවැත්වූ බව වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here