Home Entertainment ”ලංකාවෙ මිනිස්සු දිව හැරෙන හැරෙන පැත්තට කතා හදනවා” – වොල්ගා කල්පනී

”ලංකාවෙ මිනිස්සු දිව හැරෙන හැරෙන පැත්තට කතා හදනවා” – වොල්ගා කල්පනී

1202
0

වර්තමානයේ සිටින ජනප්‍රියම නිළියන් අතළොස්සේ සිටින වොල්ගා කල්පනි මේ වනවිට විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින්නට ලැබෙන රංගන ශිල්පිනියක්. ඇය පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් සිදුකළ සාකච්ඡාවකි.

ගෙවුණු වසර ගැන නිළියක් විදිහට ඔබ තෘප්තිමත්ද?

රංගන ශිල්පිනියක් විදිහට ගෙවුණු වසර විතරක් නෙවෙයි, මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණදා සිට මේ දක්වා ගෙවුණු සෑම වසරකම මට වාසනාවන්ත වුණා කිව්වොත් හරි.

පසුගිය කාලයේ ඔබගේ පෞද්ගලික ජීවිතය අළලා විවිධ කට කතා ඇති වුණා නේද?

මේක ලංකාවනේ. ලංකාවෙ මිනිස්සු දිව හැරෙන හැරෙන පැත්තට කතා හදනවානේ. බොහොම නිහඬව මේ හැම දෙයක්ම මම භාර ගන්නවා. ඒ සම්බන්ධව උත්තර බඳින්න ගියොත්, ඔය තියන ප්‍රශ්න තව තවත් දුරදිග යනවා. එතකොට ඔය කාරණා සම්බන්ධව කතා කළ මාධ්‍යයන්ට තවත් දේවල් පළ කරලා වෙළෙඳ වටිනාකමක් ලබාගන්න පුළුවන්. අන්න ඒ කාරණා නිසා තමයි මම මේ ප්‍රශ්නෙදි නිහඬව ඉන්න තීරණය කළේ.

නිහඬව සිටීම හරහා වොල්ගාට යම් පාඩුවක් සිදුවුණා වගේ කියලා හිතෙන්නේ නැද්ද?

මම හැමදාම කියන දෙයක් තමයි වොල්ගා කල්පනී කියන රංගන ශිල්පිනියට පමණක් ආදරය කරන්න. එයාගේ නිර්මාණ රසවිඳින්න. ඒවාට ප්‍රතිචාර දක්වන්න කියන දේ. එහෙම නැතිව මගේ පෞද්ගලික ජීවිතේ දිහා බලලා මාව විවේචනය කරන්න යන්න එපා. මගේ තාත්තා මට පොඩි කාලේ ඉඳලා කියලා දුන්න දෙයක් තමයි මිනිස්සු කියයි, ඔයාට ඒවා වැඩක් නැහැ. ඔයා ඒවාට ප්‍රතිචාර දක්වන්නේ නැතිව ඉන්න. ඔයා දන්නවානේ ඔයා කවුද කියලා. මිනිස්සු ගොඩක් කතන්දර කිව්වා මට. මම ඒ හැම දෙයක්ම හිනාවෙලා සතුටින් භාරගත්තා. ඒ වගේම තමයි මම තාම බලාගෙන ඉන්නවා මිනිස්සු කියන දේවල්. මට ඒ දේවල්වලට උත්තර දෙන්නවත්, අමතර ප්‍රසිද්ධියක් ගන්නවත් අවශ්‍යතාවයක් නැහැ. මොකද, මම කලා ක්ෂේත්‍රයට ආපුදා ඉඳලා අද වනතෙක් මා වටා මට ආදරය කරන රසික පිරිසක් ඉන්නවා. ඒ ටික මට හොඳටම ඇති.

මේ සිදුවීම් හරහා වොල්ගාගේ ජනප්‍රියත්වය ඉහළගිය බවක් දකින්නට ලැබෙනවා?

මෙහෙමයි. ලංකාවෙ සාමාන්‍යයෙන් ඕපාදූපයක් ගියොත් මිනිස්සු ඒ ගැන කතා කරන්න ගන්නවනේ. හැබැයි මට දැනුණ දෙයක් තමයි මා වටා සිටින රසික පිරිස මේ සම්බන්ධව කිසි දෙයක් මාත් එක්ක කතා කළේ නැහැ. ඒ වගේම තමයි කවුරුත් මාත් එක්ක අමනාප වුණේවත්, මට ආදරය කරන එක නැවැත්තුවෙත් නැහැ. මම හිතනවා මම මේ කාරණයට ප්‍රතිචාර දක්වපු විදිහ අනුව ඒ දේවල් සිදුවුණාද කියලා. මම දන්නේ නැහැ මගේ ජනප්‍රියත්වය මේ කාරණය නිසා ඉහළ ගියාද පහළ ගියදා කියලා. හැබැයි එක දෙයක් කියන්න ඕනි, මම මේ ක්ෂේත්‍රයට ආපු දා ඉඳලා අද වනතෙක් මට ලැබුණ ජනප්‍රියත්වය එක දශමයකින් හෝ අඩුවෙලා නැහැ කියලා මට හිතෙනවා. ලංකාවෙ වර්ගීකරණය වී සිටින ජනප්‍රිය නිළියන් මුල් දසදෙනා අතර හැමදාම මම ඉන්නවා. මම හිතනවා ඒක මගේ වාසනාවක් කියලා.

උපුටා ගැනීමකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here