මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර සිට නොමැති බවට රුධිර පරීක්ෂණලින් තහවුරු වී තිබෙනවා.
ඩුබායිහි සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ ඩුබායි පොලිස් නිලධාරීන් හමුවූ අවස්ථාවේ ඒ බව දැනුම් දුන් බවයි.
අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් ඩුබායි පොලීසිය හමුවේ, කරුණු ඉදිරිපත් කළ බව ද නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
“අද අපි ඩුබායි පොලීසියේ නිලධාරීන්ව ගිහිල්ලා හමුවුණා. අමල් සහ නදිමාල් සම්බන්ධව කරුණු ඉදිරිපත් කලා. විශේෂයෙන්ම ඔවුන්ගේ යූ ටියුබ් හා දුරකතනවලින් ඔවුන් පෙන්නා හිටියා ඔවුන් දෙදෙනාගේම ගායන කරන ආකාරය සහ ඔවුන්ට ඒවායින් ලෝකය පුරා තියෙන ජනප්‍රියත්වය. ඒවා කොච්චර පිරිස බලලා තියෙනවද කියන කාරණා ඉදිරිපත් කරලා ඔවුන් ලංකාවේ සහ පිටරටවල ජනප්‍රිය ගායකයන් බව, අපි අද කරුණු ඉදිරිපත් කළා”
මේ අතර ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් තවදුරටත් ඩුබායි පොලීසියේ රඳවා ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 04 වනදා රාත්‍රී ඩුබායිහි හෝටලයක පැවති සාදයක් අතරතුර අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය සිදුකළ පරීක්ෂණ මේ වන විට අවසන් කර තිබෙනවා.
නමුත් ඔවුන් එරට අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.