Home Hit තිස්ස නඩුව අවසන් කර ගැනීමට එකඟ වෙයි

තිස්ස නඩුව අවසන් කර ගැනීමට එකඟ වෙයි

327
0

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට එරෙහිව ගොනු කර ඇති නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට දෙපාර්ශවයම මේ වන විට එකඟතාව පළ කර ඇති බව අද කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබෙනවා.

නඩුව ගොනුකර ඇත්තේ, වත්මන් ජනාධිපතිවරයාගේ සහ වත්මන් අගමැතිවරයාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා පසුගිය ජනාධිපතිවරනය සමයේදී කූඨ ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට චෝදනා එල්ල කරමිනුයි.

නඩුව මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසා සිටියේ මෙම අධි චෝදනා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් විත්ති පාර්ශවය නීතිපතිවරයා වෙත ලිපියක් එවා ඇති බවයි.

මෙම නඩුව සමථයකින් අවසන් කර ගැනීමට නඩුවේ පළමු සාක්ෂිකරු වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කැමැත්ත පළකර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

නඩු කටයුතු අවසන් කර ගැනීම සමාව අයැදීමකින් සිදුවේ ද වෙනත් ක්‍රමයකින් සිදුවේ ද යන්න දැන ගැනීමට තම සේවාදායකයා අපේක්ෂා කරන බව රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝශන් පෙරේරා සඳහන් කළා.

නඩුවේ දෙවැනි සාක්ෂිකරු වන ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැනගැනීමට ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් දැනුම් දුන්නා.

නඩුව කෙටි ක්‍රමයකින් සමාව අයැදීමකින් අවසන් කර ගැනීමට අපේක්ෂා කරන බවයි තිස්ස අත්තනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මෙහිදී කියා සිටියේ.

මෙම සමතවීම සම්බන්ධයෙන් ප්‍රගතිය දැන ගැනීමට නඩුව මාර්තු මස 25 කැඳවීමට නියමිතයි.
.
කූට ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරීමෙන්, ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට වන කරුණට අමතරව විත්තිකරු, මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ප්‍රතිඵල වලට බලපෑමක් වන ආකාරයට කටයුතු කර ඇති බවට නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබෙනවා.

තිස්ස අත්තනායක ජනාධිපතිවරණ පනත, දණ්ඩ නීතිසංග්‍රහය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර් ජාතික සම්මුති පනතේ වැරදි සිදුකර ඇති බවට වන අධිචෝදනා 03ක් ද ඊට අයත්.

පසුගිය ජනාධිපතිවරණය සමයට අයත් දිනක එනම් 2014 දෙසැම්බර් මස 22 වනදා මෙලෙස ගිවිසුමක් ඇති බවට ව‍්‍යාජ ලේඛනයක් තිස්ස අත්තනායක කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කර ඇති බවට නීතිපතිවරයා චෝදනා නගා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here