Home Hit බලාගාර ටෙන්ඩරය පඹගාලක

බලාගාර ටෙන්ඩරය පඹගාලක

505

කෙරවලපිටිය ස්වාභාවික ද්‍රව වායු බලාගාර ටෙන්ඩරය නව පිරිවිතරයන් රැසක් සහිතව වෙනස් කිරීම නිසා එහි කටයුතු අවුලෙන් අවුලට පත්ව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය ඉංජිනේරුවෝ චෝදනා කරති.

මීට වසර කීපයකට ඉහත ටෙන්ඩර් කැඳවීමේදී තිබූ කොන්දේසි බැහැර කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශ මත කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති අතර එය හෙට (12) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔවුහු කියති.

මෙම බලාගාර ටෙන්ඩරයේ ප්‍රධානතම තාක්ෂණික කොන්දේසිය වූයේ පළමු වසර 03 ඩීසල් බලාගාරයක් ලෙස ක්‍රියාත්මක වී ඉන්පසුව LNG බලාගාරයක් ලෙස ජනන කටයුතු සිදුකිරීමට වුවද නව කැබිනට් යෝජනාවේ සඳහන් වනුයේ ආරම්භයේ සිටම එය ස්වාභාවික ද්‍රව වායු වලින් විදුලිය ජනනය කිරීමට හෙයින් මෙම බලාගාර ටෙන්ඩරය පඹගාලක පැටලී ඇතැයි ද ලංවීම ඉංජිනේරුවෝ කියති.

බලාගාරය ආරම්භ කළ දින සිටම LNG මගින් ක්‍රියාත්මක වන්නේ නම් බලාගාරයට ඩීසල් දහන උපකරණ සවි කිරීම අනවශ්‍ය වන අතර එවිට එක් එක් ටෙන්ඩර්කරුවන් ඉදිරිපත් කර ඇති වියදම් විශාල ලෙස අඩුවීම, එසේම ගෑස් සඳහා පමණක් ඉදිරිපත් කර ඇති ඒකක ගාස්තු වෙනස් වීම අවම මිල ඉදිරිපත් කර ඇති ලක්දනවි සමාගමත් දෙවන මිල ඉදිරිපත් කර ඇති චීන සමාගමක් පරදවා වෙනත් සමාගමක් අවම මිල ඉදිරිපත් කිරීමට ඉඩක් පැවතීම ආදී ගැටලු රැසක් ඇති වෙන බව ද ඔවුන් කියති.

බලාගාරයක ටෙන්ඩරය පිරිනමන අවස්ථාවේදී ම ඊට අදාළ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම සහ ගෑස් සැපයුම් ගිවිසුම අත්සන් කළයුතු අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් LNG ගෑස් සැපයුම්කරුකරුවකු හෝ සැපයුම් පර්යන්තයක් නැති නිසා එම පර්යන්තය ඉදිකිරීමට අදාළ ටෙන්ඩරයත් ගැටලු රැසකට මැදිවී ඇති නිසාත් තත්ත්වය බරපතළ බව ඉංජිනේරුවෝ සඳහන් කරති.

එම නිසා බලාගාරයට අදාළ ගෑස් සැපයුම් ගිවිසුමක් අත්සන් කිරීමට නොහැකි වීම නිසා බැංකු ණය පහසුකම් අහිමි වීම පමණක් නොව බලාගාරය ඉදිකළ ද එය ක්‍රියාත්මක කිරීමට ස්වාභාවික ද්‍රව වායු රට තුළ නොමැති වීමෙන් රුපියල් බිලියන ගණනක බලාගාරයක් ඉදිකර නිකරුනේ වසා තැබීමට සිදුවන බවද ඉංජිනේරුවෝ පෙන්වා දෙති.

මෙම බලාගාර ටෙන්ඩරය නිසි පටිපාටියෙන් බැහැරව චීන සමාගමට පැවරීමට විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා ගත් ක්‍රියාකලාපයට එරෙහිව පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාතික සන්ධානයේ සභාපති රංජිත් විතානගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩුව ද රවි කරුණානායක මහතාගේ ඉල්ලීම පරිදි ඉල්ලාඅස්කරගෙන ඇතැයි යැයි ඔවුහු කියති.

කෙසේවෙතත් මෙම ටෙන්ඩරය චීන සමාගමට පැවරීමට අදාළ තීරණය වළක්වාලමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ලක්දනවි සමාගම අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබූ අතර අභියාචනාධිකරණය වගඋත්තරකාර පාර්ශවයන් වන රවි කරුණානායක ඇමතිවරයාට සහ අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ මහතා ඇතුළු පාර්ශවයන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

නිමල කොඩිතුවක්කු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here