Home Local ශ්‍රී පාද විද්‍යාපීඨයේ ගැටළු පරීක්ෂා කිරීමට 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

ශ්‍රී පාද විද්‍යාපීඨයේ ගැටළු පරීක්ෂා කිරීමට 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක්

274
0

ශ්‍රී පාද විද්‍යාපීඨයේ ගුරු සිසුන්ට ආහාර සපයන, අපිරිසිදු තත්වයෙන් පවත්වාගෙන යනු ලැබූ මුළුතැන්ගෙය හා ආපන ශාලාව තාවකාලිකව මුද්‍රා තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය (05) වනදා ගත් තීරණය තමන් අනුමත කරන බවත්, එහි අඩුපාඩු සපුරා යථා තත්වයට පත් කරනතෙක් ගුරු සිසුන්ට ආහාර ලබාදීම සඳහා තාවකාලිකව ස්ථානයක් පවත්වාගෙන යාමට තමන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ඊයේ (06) ලබා දුන් බවත් ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය වේළුසාමි රාධාක්‍රිෂ්ණන් පවසනවා.

එම විද්‍යාපීඨයේ ගුරු සිසුන් විසින් විද්‍යා පීඨයේ පවතින අඩුපාඩු හා එහි නිලධාරීන් පිරිසක් විසින් ඊයේ දින පීඨය තුළ පවත්වන ලදැයි කියන සාදයක් සම්බන්ධව කරන ලද පැමිණිල්ලක් අනුව රාධාක්‍රීෂ්ණන් අමාත්‍යවරයා ඇතුලු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එම පීඨයේ කළ හදිසි සංචාරයකින් අනතුරුව පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා එසේ සඳහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, විද්‍යාපීඨයේ මුළුතැන්ගෙයි හා ආපන ශාලාවේ පවතින අඩුපාඩු සතියක් තුළදී සපුරා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීට උපදෙස් ලබා දුන් බවයි.

එම නිලධාරීන් එයට එකඟතාවය පළ කල බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඊයේ දින සිදුවූ සිද්ධිය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව පැමිණි පසු විද්‍යපීඨයේ අදාළ නිලධාරීන් සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් තමන්ට පැවසූ බවත් රාධාක්‍රිෂ්ණන් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

විද්‍යාපීඨය තුළ සිදුකරන ගොඩනැඟිලි හා අනෙකුත් සංවර්ධන කටයුතුවලදී මූලිකත්වය දී කළ යුතු කටයුතු නිසි ක්‍රමවේදයකින් සිදු නොකරන බවත්, එම නිසා පාඩු රැසක් සිදුව ඇති බවත්, මෙහිදී පීඨයේ කථිකාචාර්යවරුන් තමන්ට සඳහන් කළ බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, ඉදිරියේදී කරන සංවර්ධන කටයුතු වලදී කථිකාචාර්යවරුන් 07 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක අධීක්ෂණයෙන් පසුව එම සංවර්ධන කටයුතු සිදුකිරීමට අදාල බලධාරීන්ට උපදෙස් ලබා දුන් බවත් සඳහන් කර සිටියා.

එම සංවර්ධන කටයුතු නිමා වීමෙන් අනතුරුව ඒ සම්බන්ධව වාර්තාවක් ඉදිකිරිම් ඉංජිනේරුවන් වෙත ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව මෙහිදී වේළුසාමි රාධාක්‍රීෂ්ණන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ක්‍රිෂාණ්තන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here