Home Politics එජාපය ගිනස් වාර්තාවක් තියන්න හදනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග

එජාපය ගිනස් වාර්තාවක් තියන්න හදනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග

441
0

එක් මන්ත්‍රිවරයකු සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් සෑදීම තුළින් එක්සත් ජාතික පක්‍ෂය ගිනස් වාර්තා පොතට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර සිටිනවා.

ජාතික ආණ්ඩුවක් තනා ගැනීමට එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය වී ඇත්තේ ඇමැති ධුර වැඩි කර ගැනීම සඳහා බව පෙන්වා දුන් ඔහු ජාතික ආණ්ඩුවකට හෝ ගොස් ඇමැති ධුර වැඩි කර නොගතහොත් එ.ජා.ප.යේ අභ්‍යන්තර අර්බුදය එළියට ඒම වැළැක්විය නොහැකි බවත් සඳහන් කර සිටියා.

මන්ත්‍රිවරයා මේ අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ තරුණ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා පැවැති ජනහමුවකට සහභාගි වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

”දැන් ආණ්ඩුවට තියෙන එකම ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එක පැත්තකින් රටේ ආර්ථිකය කඩා වැටිලා. අනෙක් පැත්තෙන් සේනා දළඹුවා වැනි ව්‍යසන නිසා කෘෂිකර්මාන්තය කඩාවැටිලා. ජාතික ආරක්‍ෂාව දිනෙන් දින වළපල්ලට යනවා. පාතාලය රජ වෙලා. මේ කිසිම ප්‍රශ්නයක් විසඳන්නේ නැති ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අටවගෙන පිස්සුවක් නටනවා. රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනේ කියන කාරණයේ විවාදයක් නැහැ. හැබැයි එක්සත් ජාතික පක්‍ෂය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම තමයි අපටත් ජනතාවටත් තිබෙන ගැටලුව.

ප්‍රභාකරන්ට යුද්ධයෙන් කරගන්න බැරි වෙච්ච දේ ව්‍යවස්ථාව හරහා හරි කරගන්න එක තමයි දෙමළ සන්ධානයේ එකම අරමුණ. එහෙම නැතිව දෙමළ සන්ධානයට රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව අයිතිවාසිකම් ගැනවත් අබමල් රේණුවක අවශ්‍යතාවක් නැහැ.

එක්සත් ජාතික පක්‍ෂය නම් රිළවා අද නැට වෙන්නේ දෙමළ ජාතික සන්ධානය කියන අහිකුණ්ටිකයාගේ අතේ. ව්‍යවස්ථාවක් හදන්න ඕනේ නම් එන්න පාර්ලිමේන්තු මැතිවරණයකට. ඇවිත් ජනතාවට කියන්න අපි ව්‍යවස්ථාව වෙනස් කරනවා ඒකට ඡන්දය දෙන්න කියලා. ජනතාව ඒක අනුමත කළොත් අපට ප්‍රශ්නයක් නැහැ.” යනුවෙන් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here