Home Local පොලිස් සැරයන්වරයකුගේ සේවය අත්හිටුවයි

පොලිස් සැරයන්වරයකුගේ සේවය අත්හිටුවයි

271
0

පොලිස් හදිසි ඇමතුම් අංශය ඔස්සේ ලද තොරතුරකට ඉක්මනින් ක්‍රියාත්මක නොවීම නිසා වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකුගේ සේවය ඊයේ (02) දින සිට අත්හිටුවීමට කටයුතු කළ බව තංගල්ල පොලිස් අධිකාරී අබේරාජ් ගම්ලත් සඳහන් කර සිටිනවා.

මෙලෙස වැඩතහනමට ලක්ව ඇත්තේ වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන් විජේතුංග (39328) නම් නිලධාරියකුයි.

වීරකැටිය පොලිස් වසමට අයත් බැඳිගම, තිරාවල ප්‍රදේශයේදී පුද්ගලයකු විසින් තරුණයින් දෙදෙනෙකුට ඉකුත් 30 දින පස්වරු 6.30ට පමණ පහර දී ඇති අතර නැවත එම ආරවුල 7.30ට පමණ සිදුවී තිබෙනවා.

මේ පිළිබදව එදින රාත්‍රී 8.00ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලිසියට තොරතුරක් ලැබී ඇති අතර වැඩතහනමට ලක්වූ පොලිස් සැරයන්වරයාට වහාම එම සිදුවීම වූ ස්ථානයට යන ලෙස දැනුම් දී තිබුණද එම නිලධාරියා රාත්‍රී 10.45ට පමණ අදාල ස්ථානයට ගොස් ඇති අතර එම ආරවුල සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකළ පොලිස් අධිකාරීවරයා සඳහන් කර සිටියා.

අදාල ආරවුල සම්බන්ධයෙන් කොට්ඨාසය භාර ග්‍රාම නිලධාරීවරයාද පොලිස් ස්ථානයට දැනුම්දී තිබුණද නිලධාරීන් රාජකාරී කටයුතු පැහැර හැර ඇතැයි පොලිස් අධිකාරීවරයා පවසනවා.

වීරකැටිය බැඳිගම තිරාවල ප්‍රදේශයේදී ඉකුත් 31 දින දහවල් තිරාවල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබූ අතර මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා ඊට පෙර දිනයේදී සිදුවූයේයැයි කියන ගැටුම සමතයට පත්කිරීමට මැදිහත් වී ඇතැයි ඔහුගේ ඥාතීහු සඳහන් කර සිටින්නේ.

මෙම ආරවුල සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානය දැනුම්වත් කළද නිලධාරීන් වහාම ක්‍රියාත්මක වූයේනම් තම ඥාතී සොහොයුරා ඝාතනයට ලක් නොවීමට ඉඩ තිබුනේයැයිද ඥාතීහු පවසනවා.

මෙම ආරවුල සම්බන්ධයෙන් රාජකාරී කටයුතු පැහැර හැරියේ යැයි කියන වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සහ තවත් එක් පොලිස් සැරයන්වරයකු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයිද පොලිස් අධිකාරීවරයා කියා සිටියා.

දකුණ සහ සබරගමුව පළාත් බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන, තංගල්ල සහ මාතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න සහ තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්ගේ අධීක්ෂණය යටතේ පොලිස් අධිකාරී අබේරාජ් ගම්ලත් විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here