Home Hit නිදහස් දින උත්සවයට යන්නේ නැහැ – මහින්ද අමරවීර

නිදහස් දින උත්සවයට යන්නේ නැහැ – මහින්ද අමරවීර

554
0

කුඩා දරුවෙක් මේ වන විට රුපියල් ලක්ෂ 04කට වඩා ණයකාරයෙක් කර ඇතැයිද රටේ ජනතාවට නිදහසක් නොමැතිවීම නිසා මෙවර නිදහස් දින උත්සවයට සහභාගී නොවන බවද එක්සත් ජනතා නිදහස් සන්ධානය මහලේකම් හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා.

ඔහු මෙසේ පැවැසූයේ අඟුණකොළපැලැස්ස අබේසේකරගම ප්‍රදේශයේ ගොවි පවුල් 120ක් සඳහා පලතුරු සහ එළවළු පැළ ලබා දීමේ වැඩසටහනකට අද (03) සහභාගී වෙමින්.

රැස්ව සිටි පිරිස අමතමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දැක්වුවා.

”මේ රටේ හිටිය කිසිදු ආණ්ඩුවකට රටේ ජනතාවගේ ප්‍රශ්න හඳුනාගන්න පුළුවන් වුණා කියල මම හිතන්නේ නැහැ. එහෙම වුණා නම් මේ අර අද තරම් අන්ත අසරණ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. අවුරුදු 71ක් වෙනවා අපේ රට නිදහස ලබලා. මම හැමදාම වගේ නිදහස් උත්සවයට ගිය කෙනෙක්. මම මේ සැරේ යන්නේ නැහැ කියල තීරණය කළා. නිදහස සමරලා උත්සවයක් තිබුණට වැඩක් නැහැ මේ රටේ මිනිස්සු නිදහස් වෙලා නැහැ.

අපි සුද්දාගෙන් නිදහස් වුණා තමයි. සුද්දගෙන් නිදහස් වෙලා කළු සුද්දට පාලන බලය ආව. හැබැයි සුද්දන්ගේ පාලන කාලයට වඩා මිනිස්සු අන්ත වෙලා තිබෙනව ඇතැම් ක්ෂේත්‍ර වලින් දැන්. රටේ ජාතික ආදායම මදි වෙලා තිබෙනවා රටේ ණය ටික ගෙවාගන්න. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව එයාලට යමක් කරාවි කියලා. පොඩි දරුවොත් ණයකාරයෝ කරල. රටේ දැන් ඉන්න එක් පොඩි දරුවෙක් ලක්ෂ හතරකට වැඩිය ණයකාරයෙක් කරලා. එන්න එන්න එය දැන් වැඩි වෙනවා. කවුරු මොන පොළියට ගත්තත් ඒව ගෙවන්න ඕන.

මම නම් නිදහස් දිනයක් ගැන කල්පනා කරන්නේ රටේ මේ තියෙන තත්ත්වයන්ගෙන් රට ඉස්සරහට ගියොත් විතරයි මම නම් නිදහස සමරන්නේ. මේ අවුරුදු හැත්තෑඑකේම මට නම් ඒ වගේ අවස්ථාවක් දකින්න ලැබුණේ නැහැ. මේ සියලු නායකයන්ට සහ අපිට ජනතාව වෙනුවෙන් ඒ යුතුකම ඉෂ්ඨ කළා කියල සතුටක් ඇති වෙන්නේ නැහැ. ”

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here