Home Hit රනිල්ට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරු දීපාලි ඉවත් වෙයි

රනිල්ට එරෙහි පෙත්සම් විභාගයෙන් විනිසුරු දීපාලි ඉවත් වෙයි

513
0

අගමැති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් තේරී පත්වීමට අභියෝග කරමින් ගොනුකර තිබූ ‘‘රිට්’’ පෙත්සම සලකා බැලීම සඳහා ඊයේ (31) කැඳවූ විනිසුරු මඬුල්ලේ අසුන්ගෙන සිටි අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති දීපාලි විජේසුන්දර පුද්ගලික හේතුවක් මත එම කාර්යයට සහභාගි නොවන බව දන්වමින් ඉන් ඉවත් වී තිබෙනවා.

විනිසුරුවරිය හා විනිසුරු අර්ජුන ඔබේසේකර හමුවේ ඊයේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

පෙත්සම්කාරිය වන පොදු පෙරමුණේ කොළඹ නගර සභා මන්ත‍්‍රීනි ශාමිලා ගෝනවල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මුලින්ම පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් ඊයේ උසාවියට පැමිණ සිටියා.

පෙත්සම අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවන අතර පෙත්සම විභාග කරන විනිසුරු මඬුල්ල සහ දිනය එහිදී දෙපාර්ශ්වයේම නීතිඥවරුන්ට දැනුම් දෙනු ඇත.

පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් කියා සිටින්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ රාජ්‍ය ආයතනවලට සේවාවන් සපයන පුද්ගලික සමාගමක ප‍්‍රධාන කොටස්කරුවකු වීම නිසා ඔහුට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස තේරී පත්වීමට සහ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වී ඡන්දය පාවිච්චි කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9,1 (ඊ) වගන්තිය යටතේ අයිතියක් නැති බවයි.

එනිසා ඔහුගේ මන්ත‍්‍රී ධුරය අවලංගු කරන ලෙසද, මෙතෙක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් ලබාගත් වැටුප් ඇතුළු සියලූ දීමනා ඔහුගෙන් අය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාට කොටස් හිමි ලේක්හවුස් පි‍්‍රන්ටින් සහ පබ්ලිෂර්ස් නමැති පුද්ගලික සමාගම ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන කීපයකට චෙක්පත් මුද්‍රණය කිරීම ඇතුළු සේවාවන් රැසක් ගාස්තු අයකර සපයන බවත්, ඒ බවට සනාථ කළ හැකි තොරතුරු රැසක් තමා සතුව තිබෙන බවත් පෙත්සම්කාරිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

2000 වසරේදී දොස්තර රාජිත සේනාරත්නට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහිමි වූවේත් පුද්ගලික ආයතන සමග ගිවිසුම්වලට බැඳී ව්‍යාපාරික කටයුතුවල නිරත වීම නිසා බවත්, ඔහුට එරෙහි පැමිණිල්ල කළේ ඩිලාන් පෙරේරා බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ජනාධිපති නීතිඥ කෙනත් ඊශ්වරන් සමඟ ජනාධිපති නීතිඥ රොනල්ඞ් පෙරේරා, අධිනීතිඥ නිරන්ජන් අරුල්ප‍්‍රකාශම් නීතිඥ අරුල් ප‍්‍රකාශම්ගේ උපදෙස් පිට පෙත්සමේ 01 වෙනි වගඋත්තරකරු වන අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටියා.

අධිනීතිඥ සුරේන් ප‍්‍රනාන්දු දෙවැනි වගඋත්තරකරු වන එජාප මහ ලේකම් වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පර්සානා ජමීල් මහත්මිය නීතිපති වෙනුවෙන් පෙනී සිටියා.

ජනාධිපති නීතිඥ උදිත ඉගළහේවා පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here