Home Tech ළමා වර්ධනයට බලපෑමක් ඇති කරන ”ටච් ස්ක්‍රීන්”

ළමා වර්ධනයට බලපෑමක් ඇති කරන ”ටච් ස්ක්‍රීන්”

415
0

ස්මාර්ට් ජංගම දුරකතන සහ ටැබ්ලට් පරිගණක සමග වැඩි කාලයක් ගත කරන කුඩා දරුවන් එවැනි උපාංග භාවිතයක් නොමැති දරුවන්ට වඩා අඩු නින්දක් ලබන බව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

සමීක්ෂණය පැවැත්වූ විද්‍යාඥ කණ්ඩායම සිය වාර්තාවේ පෙන්වා දෙන්නේ ‘ටච් ස්ක්‍රීන්’ හෙවත් ස්පර්ශ කිරීමෙන් ක්‍රියාත්මක කෙරෙන පරිගණක සහ ස්මාර්ට් දුරකථන උපාංග සමග කුඩා දරුවන් ගත කරන සෑම පැයකදීම ඔවුන්ගේ නින්දෙන් මිනිත්තු 15ක් අඩුවන බවයි.

‘ටච් ස්ක්‍රීන්’ සහිත උපාංග සමග කෙලි සෙල්ලම් කරන දරුවන්ගේ චලන ක්‍රියාකාරකම් ඉතා ඉක්මනින් වැඩි දියුණු වන බව ද සමීක්ෂකයින් පෙන්වා දෙනවා.

කෙසේ නමුත් දරුවන්ගේ චලන ක්‍රියාකාරකම් කාලයත් සමග වැඩි දියුණු වන බව පැහැදිලි කරන විද්‍යාඥ කණ්ඩායම පවසන්නේ, ඒ වෙනුවෙන් ඔවුන්ගේ නින්ද කැප නොකළ යුතු බවයි.

වර්තමානයේ නිවෙස්වල ටැබ්ලට් පරිගණක සහ ස්මාට් ජංගම දුරකථන භාවිතයේ තාක්ෂණික පෙරළියක් ඇතිව තිබෙන නමුත් එම උපාංග වලින් කුඩා දරුවන්ගේ ළමා කාලයට ඇති කෙරෙන බලපෑම පිළිබඳව බොහෝ දෙමව්පියන් දැනුවත් වී නොමැත.

“වර්ධනයට නින්ද අත්‍යවශ්‍යයි”

‘බ්‍රික්බෙක්’ ලන්ඩන් විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලැබූ එම සමීක්ෂණය සඳහා වයස අවුරුදු 03ට අඩු දරුවන් සිටින මව්පියන් 715ක් යොදා ගෙන තිබෙනවා.

සමීක්ෂණයේ දී විද්‍යාඥ කණ්ඩායම විසින් දරුවන් ටැබ්ලට් පරිගණක හෝ ස්මාර්ට් ජංගම දුරකථන සමග කෙලි සෙල්ලම් කරන කාලය සහ ඔවුන්ගේ නිදා ගැනීමේ රටා නිරීක්ෂණය කරනු ලැබ ඇති අතර සමීක්ෂණයෙන් එක්රැස් කරගත් තොරතුරු අනුව ටච් ස්ක්‍රීන් සහිත පරිගණක හෝ දුරකථන උපාංග සමග කෙලිසෙල්ලම් කරන සෑම පැයකටම දරුවෙකුට සිය නින්දෙන් මිනිත්තු 15ක කාලයක් අහිමිවන බව හෙළිවී තිබෙනවා.

“දිනකට පැය 10 -12 අතර කාලයක නින්දක් ලැබෙනවානම් ඔබට මිනිත්තු 15ක නින්දක් අහිමිවීම එතරම් විශාල හානියක් නෙවෙයි, නමුත් ළදරුවන්ගේ වර්ධනයට නින්ද කොතරම් අත්‍යවශ්‍ය කාරණයක්ද කියනවා නම් ඔවුන්ගේ නින්දෙන් දිනකට මිනිත්තු 15ක් අහිමි වීම ඉතා බරපතලයි,” සමීක්ෂණය මෙහෙයවූ වෛද්‍ය ටිම් ස්මිත් සඳහන් කර සිටිනවා.

මෙම සමීක්ෂණය 100% ක නියත ප්‍රථිපල ලබා දී නැති නමුත් ටච් ස්ක්‍රීන් භාවිතය හේතුවෙන් දරුවන්ගේ නින්දට බාධා ඇතිවන්නේ යයි සහතික කළ හැකි බව වෛද්‍ය ටිම් ස්මිත් කියා සිටියා.

කුඩා දරුවන්ට ‘ටච් ස්ක්‍රීන්’ ලබා දීම සුදුසුද?

“ඒක හරි උත්තරයක් දෙන්න අමාරු ප්‍රශනයක්. මේ සම්බන්ධයෙන් පවතින විද්‍යාත්මක සමීක්ෂණ තවමත් ආරම්භක අවදියෙයි තියෙන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් දීම අපහසුයි,” යනුවෙන් ඔහු පවසා සිටියා.

කෙසේ වෙතත් ‘ටච් ස්ක්‍රීන්’ වලට අමතරව කුඩා දරුවන් රූපවාහිනී තිරයක් ඉදිරියේ ගත කරන කාලය සම්බන්ධයෙන් ද මව්පියන් සැලකිල්ලක් දැක්විය යුතු බවයි වෛද්‍ය ටිම් ස්මිත් පවසන්නේ.

BBC සිංහල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here