මානව හිමිකම් වලට මුවාවී ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවත්නා රටවලට බලපෑම් එල්ල කරන බව චීන විදේශ අමාත්‍ය වෑන් – යි පවසනවා.
එවැනි ක්‍රියාමාර්ග චීනය විසින් දැඩි සේ හෙළා දකින අතර, ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අයිතීන් සහ අභිලාෂයන් ඒකාබද්ධව සුරක්ෂිත කරලීම සඳහා නොසැලෙන සහයක් ලබාදෙන බවයි චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග දුරකථන සංවාදයකට එක්වෙමින් චීන විදේශ අමාත්‍ය වෑන් – යි මේ බව ප්‍රකාශ කළේ යැයි චීන විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන්.
ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු ලෙස මෙරට ආර්ථික සංවර්ධනයට සහ ජනතාවගේ ජීවිකා වෘත්තීන් වැඩි දියුණු කිරීම සඳහා දිගු කලක සිට චීනයෙන් ලැබෙන සහය මෙහිදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ පැසසුමට ලක්වී තිබෙනවා.
අභ්‍යන්තර සහ බාහිර අභියෝගයන්ට මුහුණදීම සඳහා චීනය ශ්‍රී ලංකාවට ලබාදී ඇත්තේ මනා සහයක්.
ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ඇතැම් බටහිර රටවල් නැවතත්, නිසි සාක්ෂිවලින් තොරව මානව හිමිකම් කරුණු මතු කරමින් දැඩි පීඩනයක් එල්ල කරන බවත්, අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
ජිනිවා මානව හිමිකම් මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව නගන චෝදනා ඊට උදාහරණයක් ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
චීන විදේශ අමාත්‍ය වෑන් – යි එහිදී ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මූලික පාලන ක්‍රමවේදයන් මෙන්ම, අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම ඇතුළු එක්සත් ජාතින්ගේ ප්රඥප්තියේ අරමුණු සහ මූලධර්ම සුරක්ෂිත කිරීමට චීනය පෙරමුණ ගන්නා බවයි.
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයට මුහුණදීම සඳහා ශ්‍රී ලලංකාවට ලබාදෙන සහාය ඉහළ නැංවීමට ද චීන විදේශ අමාත්‍ය වෑන් – යි එහිදී ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.
වසංගතය කඩිනමින් තුරන් කිරීම සඳහා එන්නත්කරණ සහාය ද ලබාදීමට සූදානම් බවයි ඔහු එහිදී පවසා ඇත්තේ.