Home Hit බියගම සල්ලි අච්චු ගහන මැෂින් එක ගජරාමෙට වැඩ – පෙබරවාරියේ විතරක් බිලියන...

බියගම සල්ලි අච්චු ගහන මැෂින් එක ගජරාමෙට වැඩ – පෙබරවාරියේ විතරක් බිලියන 48 ක්!

451
0

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ආර්ථිකයට සම්බන්ධයෙන් ඇති එකම විසඳුම මුදල් අච්චු ගැසීම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

පසුගිය වසර තුළදී පමණක් රුපියල් බිලියන 659 ක් අච්චු ගසා ඇති බව පෙන්වා දෙන රණවක මහතා ඊට සාපේක්ෂව 2019 වසරේදී අච්චු ගසා ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 04 ක් පමණක් බවයි පෙන්වා දෙන්නේ.

පෙබරවාරි මාසයේ පළමු දින 19 තුළදී පමණක් රුපියල් බිලියන 48 ක් පමණ අලුතින් අච්චු ගසා ඇති බව චම්පික රණවක මහතා පවසනවා. ආණ්ඩුව හා ජනාධිපතිවරයා කෙතරම් අකාර්යක්ෂම වුවද බියගම ස්ථාපිත කර ඇති මුදල් අච්චු ගසන යන්ත්‍රය නම් මේ දිනවල ඉතා කාර්යක්ෂමව වැඩ කරන බව ඔහු වැඩිදුරටත් පවසනවා.

මෙසේ සීමාවකින් තොරව සියලු ගැටලුවලට විසඳුම් ලෙස මුදල් අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස අද වනවිට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු බොහෝ භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බව රණවක මහතා පවසනවා. අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1000 ඉක්මවා ඇති බවත්, කහ කිලෝවක් රුපියල් 8000 දක්වා මිල වැඩි වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මුදල් අච්චු ගසා කොපමණ ඩොලර් උපයා ගත්තද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම වළක්වා ගත නොහැකි බවත්, රුපියල් ප්‍රමාණය වැඩි වුවද ඩොලර් ප්‍රමාණය වැඩි නොවන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

‍මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් ලබාගෙන ඇත ණය ආපසු ගෙවීමේ හැකියාවද අවම වී ඇති බව පෙන්වා දෙන චම්පික රණවක මහතා පවසන්නේ ඊට හේතුව කොවිඩ් වසංගතය නොව ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය සහ වැරදි ආර්ථික ප්‍රතිපත්ති බවයි. මේ නිසා නැවත ණය ලබා ගැනීමේ අර්බුදයකටද මුහුණ දී සිටින බවත් ණය ශ්‍රේණිගත කිරීම් ආයතන විසින් ලංකාවේ තත්වය පහතට දමා ඇති බවත් ඔහු පවසනවා. නුදුරේදීම ශ්‍රී ලංකාවද ග්‍රීසිය මෙන්ම, ඇෆ්ගනිස්තානය මෙන්, ලෙබනනය මෙන් බංකොලොත් රටක් බවට පත්වීමේ අනතුරක් තිබෙන බවද චම්පික රණවක මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here