පාස්කු බෝම්බකරුවකු වන මොහොමඩ් ඊබ්රාහිම් ඉන්සාෆ්ගේ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් දසදෙනා නිදහස් කළ ආකාරය පිළිබඳ දැනගැනීම සඳහා
මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර අගරදගුරු නිල නිවසට ඊයේ (20 වැනිදා) පස්වරුවේ කැඳවා තිබිණි. කාදිනල් මැල්කම් රංජිත් හිමි මෙම කැඳවීම කර ඇත.
ඊබ්රාහිම්ගේ කම්හලේ සේවකයන් නිදහස් වීමත් සමග කතෝලික ප්රජාවට විමර්ශන ගැන කුකුසක් ඇතිව තිබෙන බවත් කතෝලික ප්රජාවට මුහුණදිය නොහැකි තත්ත්වයක් ඉන් තමන්ට ඇතිවන බවත් කාදිනල්වරයා මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකරට පෙන්වා දී ඇති බව අරුණ පුවත්පත වාර්තා කරනවා.
මෙම සැකකරුවන් ගැන විමර්ශන කර නීතිපතිවරයාට යොමු කළ පසු නීතිපති උපදෙස් මත සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක ඇමැතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේය. මෙම විමර්ශනවලදී සාක්ෂි නිසියාකාරව හසුරුවනවාද යන්න ගැන විමසිලිමත් වන්නැයි කාදිනල්වරයා ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. පාස්කු ප්රහාරය සම්බන්ධව අන්තවාදීන් සමග සබඳකම් පැවැත්වූ චෝදනාවට අත්අඩංගුවට ගෙන සාක්ෂි නොමැතිව මුදාහරින්නන් සමාජගත කිරීමට පෙර නිසි අධීක්ෂණයකින් පුනරුත්ථාපනයට යොමු කරන ලෙසද කාදිනල් හිමිපාණන් මෙහිදී ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් Newshub.lk කොළඹ අගරදගුරු නිල නිවසේ අගරදගුරු සම්බන්ධිකාරක ගරු ඩෙනින්ටන් සුභසිංහ පියතුමන්ගෙන් විමසු අතර පියතුමන්ද මේ බව තහවුරු කර සිටියා.