Home Entertainment ප්‍රභාකරන් ගැන කළකිරී බුදු දහම වැළඳගෙන වෙහෙර විහාර හදන මුල්ලියාවලි කිරුබාකරන්

ප්‍රභාකරන් ගැන කළකිරී බුදු දහම වැළඳගෙන වෙහෙර විහාර හදන මුල්ලියාවලි කිරුබාකරන්

211
0

LTTEය යනු කුරිරු ත්‍රස්තවාදී සංවිධානයකි. ඔවුන් අතින් මියගියවුන් ගණන ඉතා විශාලය. රජයේ ආරක්ෂක හමුදා සාමාජිකයන්, දෙමළ නිරායුධ වැසියන් මෙන්ම ඔවුන්ගේම එල්.ටී.ටී.ඊ. කොටි සාමාජිකයන් ද ඔවුන් අතින් ඝාතනය විය.

ඊළාම් රාජ්‍යයක් උදෙසා සටන් වැදුණු මෙම ත්‍රස්තවාදීන් සිය අදහස් ඉටුකර ගන්නා තුරු අත රැඳි ගිනි අවිය බිම තබන්නට සූදානම් වූයේ නැත. එහෙත් රජයේ හමුදා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් කුරිරු ත්‍රස්තවාදය පරදවා රට එක්සේසත් කිරීමට සමත් විය.

මෙලෙස ගිනි අවි අත දරා රජයේ හමුදාවන්ට ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදී නායකයකු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ක්‍රියාකලාපය ගැන කලකිරී හමුදාවට භාර වී යහමගට පැමිණීමෙන් පසු සිය ආගම පසෙකලා බුදුන් වහන්සේ සරණ ගියේ ය. බුද්ධ ධර්මය වැලඳගත් ඔහු එල්.ටී.ටී.ඊ.ය විසින් සිදුකළ කුරිරු ක්‍රියාකාරකම් ලෝකයා හමුවේ කියන්නට කැමැත්තෙන් සිටින්නේ ය. යෝගරාසා කිරුබාකරන් වූ හෙතෙම මුලතිව් මුල්ලයාවලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. යෝගරාජා ඔහුගේ පියාය. විජයකුමාරි මවය. සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ කිරුබාකරන් දෙවැන්නා ය. ගමේ බොහෝ දෙනා ඔහු හැඳින් වූයේ රාජන් කියාය. මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ ඔහු දහ වන වසර දක්වා අධ්‍යාපනය ලැබුවේ ය.

මේ වනවිට මුලතිව් හා ඒ අවට සිය අණසක පතුරුවාගෙන සිටියේ කොටි ත්‍රස්තවාදීන්ය. රාජන්ගේ මවුපියෝ හින්දු භක්තිකයෝ ය. ඒ නිසා රාජන්ද හින්දු භක්තිකයෙක් විය.

රාජන්ට කතා කිරීමට හැකියාව තිබුණේ දෙමළ භාෂාව පමණි. එකදු සිංහල ජාතිකයකුවත් මුල්ලයාවලි නොසිටි බැවින් ඔවුන් සිංහල වැසියන් දැක තිබුණේත් නැත. එල්.ටී.ටී.ඊ.ය ද ඔවුන්ට කියාදුන්නේ සිංහලයන් තම පරම සතුරන් බවය. මේ නිසා රාජන් පමණක් නොව සෙසු අයගේද හිත් තුළ සිංහලයන් කෙරෙහි තිබුණේ දැඩි වෛරයක් ය.

මේ කාලය වනවිට රාජන්ගේ පියා ඇතුළු ඥාතීන්හු රත්රන් බඩු නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක යෙදුණහ. ඒ නිසා ඔවුන්ට ජීවත්වීම සඳහා එතරම් අපහසුතාවක් ඇති නොවීය. එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානය මොවුන්ගෙන් කප්පම් ලබාගත්තේ එය සිය සංවිධානය සඳහා යොදා ගන්නා බව කියමින් ය.

ඒ වනවිට යුද්ධය තදින් පැවැතිණි. හමුදාව හා කොටි ත්‍රස්තවාදීන් අතර ඇති වූ සටන්වලින් මේ නිසා මියගියවුන්ගේ ගණන අතිවිශාලය. කොටින්ටද සිය සාමාජිකයන් බොහෝ ලෙස අහිමි වී තිබිණි. මේ නිසා ඔවුන් සිය අණසක පැතිර වූ ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියන් බලහත්කාරයෙන් පැහැරගෙන ගියේ ය. එලෙසම ඔහු සියලු ම ද්‍රවිඩ වැසියන්ට නියෝග කළේ සංවිධානය වෙනුවෙන් එක පවුලකින් එක් සාමාජිකයකු එක් කළ යුතු බවය. එම නියෝග මඟහරින, පිටුපාන අයට මරණය හිමිවිය. නැතහොත් පහරදීම්වලට ලක්විය.

“ඒ කාලේ මුලතිව් පාලනය කළේ එල්.ටී.ටී.ඊ. කට්ටිය. එයාලා කියලා තිබුණා පවුලේ කවුරුහරි සංවිධානයට බන්දන්න ඕන කියලා. බැඳුණේ නැත්නම් බලහත්කාරයෙන් අරගෙන යනවා. එහෙම අරන් ගියොත් දඬුවම් දෙනවා. මගේ මල්ලි හරි නංගි හරි අරගෙන යයි කියලා හිතුව නිසා මට එල්.ටී.ටී.ඊ.යට බැඳෙන්න හිතුණා. ඒ 2006 අවුරුද්දේ. එතකොට මගේ වයස අවුරුදු 23යි.

අම්මා, තාත්තා අකැමැති වුණා. ඒත් මම ගියේ නැත්නම් කවුරුහරි අපේ පවුලෙන් යන්න ඕන. ඒ නිසා තමයි මම ගියේ. මට මාස දෙක හමාරක් ගරිල්ලා පුහුණුව දුන්නා. යුනිෆෝම් දුන්නා. අපිට වෙඩි තියන්න තමයි පුහුණු කළේ. එල්.ටී.ටී.ඊ.යේ මගේ නම කාර්මුගිලන්. මගේ අංකය 563. මගේ නායකයා වුණේ කර්නල් තීපන්. මම හිටියේ තීපන් යටතේ. මම එල්.ටී.ටී.ඊ.යට බැඳුණට පස්සේ මගේ අම්මා, තාත්තා, අයියලා, මල්ලිලා සේරම එල්.ටී.ටී.ඊ. කියලා තමයි කිව්වේ. අපි සම්පූර්ණයෙන්ම ජීවත් වුණේ කිලෝමීටර් 350ක් ඇතුළේ.”

මෙලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳුණු කාර්මුගිලන්ට ඒ වනවිට හොඳින් අවි පුහුණුව තිබිණි. සතුරාට ප්‍රහාර එල්ලකොට ඔවුන් ඝාතනය කිරීම කාර්මුගිලන් ඇතුළු කණ්ඩායමේ ඉලක්කය විය.

“අපිට දේශනා තිබ්බා. ඒ හැම තැනකදීම එයාලා කිව්වේ සිංහලයන් සතුරන්. එයාලා අපිට විරුද්ධ අය. එයාලා අපේ භූමියට ඇවිල්ලා ඒක අල්ලගෙන ඉන්නේ කියලයි. ඒ නිසා සිංහල මිනිස්සුත් එක්ක හිටියේ ලොකු වෛරයකින්. ඒ නිසා අපි හමුදාවත් එක්ක හැප්පුණා. හමුදාවට වෙඩි තිබ්බා. හමුදාවට මොනවාහරි කරන්න ඕන කියලා තමයි නායකයෝ අපිට කිව්වේ.”

සිංහලයන් කෙරෙහි ඇති වූ බද්ධ වෛරය සිත් තුළ තබාගෙන යුද හමුදාව සමග නිරන්තරයෙන් ගැටුණු කාර්මුගිලන්ට ද වරෙක වෙඩි වැදිණි. ඒ, වන්නි මානුෂීය මෙහෙයුම පැවැති කාලයේදීය.

“මම හිටියේ මුහමාලේ ඒරියා එකේ. මට තිබුණේ ඒ පැත්තේ තියෙන පොයින්ට් 3ක් බලාගන්න. මගේ යටතේ නවදෙනෙක් හිටියා. මුහමාලේ එක පොයින්ට් එකක ඉඳලා තවත් පොයින්ට් එකකට යද්දි මට වෙඩි වැදුණා. කකුලට තමයි වැදුණේ. මාව කට්ටිය උස්සගෙන ගිහින් හොස්පිට්ල් එකට දැම්මා. පස්සේ කොටි සංවිධානයේ ඩොක්ටර්ස්ලා මගේ කකුල දණහිසට පහළින් කපලා අයින් කළා. ඒ 2008දී. ඒත් දවස් 20න් තුවාලේ වේළුණා. 

එහෙම ඉඳලා සනීප වෙලා ආයෙත් ග්‍රවුන්ඩ් එකට යනකොට සංවිධානයෙන් මට පොඩි ගෑනු ළමයෙක් දුන්නා මෙයාවත් අරගෙන ගිහින් යුද්ධ කරන්න කියලා. ඒ වෙනකොට සංවිධානයට පොඩි ළමයි බඳවා ගත්තා. මට දුන්න කෙල්ලගේ වයස අවුරුදු 16යි. එයා මට මාමා කියලා කතා කළේ. මගේ හිතට හරි දුකක් දැනුණා. මගේ මුහුණ බලලා මාමා කියලා එයා කතා කරනකොට කොහොම ද මම එයාව අරගෙන ගිහින් යුද්ධ කරන්නේ.”

“අන්තිමට මට සිද්ධ වුණේ සටන්වදින අපේ කට්ටියට කෑම බීම සපයන්නයි. අන්තිමේදී සංවිධානය මාව කැප්ටන් කෙනෙක් විධියට උසස් කළා. වෙල්ලිමුල්ලිවයික්කාල් අන්තිම සටන වෙනකම්ම මම කොටි සංවිධානයේ සිටියා. එතකොට මම කැප්ටන් කෙනෙක්.

“ඒත් මට සංවිධානය ගැන කලකිරීමකුත් ඇතිවෙලයි තිබුණේ. එතකොට අයියා කසාද බැඳලා, නංගි බැඳලා, මම විතරයි බැඳලා නැත්තේ. අනික් නංගි බඳින්න ඉන්න කොට එයාව වෙඩි තියලා මැරුවා. අම්මා කිව්වා එල්.ටී.ටී.ඊ. එකෙන් තමයි වෙඩි තිබ්බේ කියලා. මට ඒ වෙලාවේ කලකිරීමක් ඇති වුණා.

ඒ 2009 වසරේ අප්‍රේල් මාසයයි. හමුදාවට අත්පත් කර ගැනීමට තිබුණේ සීමිත ප්‍රදේශයයි. හමුදාවත් එල්.ටී.ටී.යත් අතර හිර වූ සාමාන්‍ය වැසියන් බේරා ගැනීම හමුදා බලධාරීන්ගේ එකම ප්‍රයත්නය විය. වෙඩි හඬින් මුළු පළාතම ගිගුම් දෙමින් තිබිණි. දෙමළ වැසියෝ මරණ බියෙන් ඒ මේ අත දිව යන්නට වූහ. ඔවුන්ට හමුදාවට භාර වෙන ලෙස හමුදා සේනාංක ඉල්ලීමක් කරමින් ගුවනින්ද පත්‍රිකා බෙදා හරින්නට වූහ.

“2006 ඉඳන් යුද්ධය ඉවර වෙනකම්ම මට අම්මා, තාත්තා, සහෝදරියෝ බලන්න ඉඩක් දුන්නේ නැහැ. ඒත් මට එයාලා මතක් වුණා. හමුදාවට භාර වෙන්න කියලා කිව්වම ගොඩාක් දෙමළ අය හමුදාවට භාර වුණා. අම්මා මට පණිවුඩයක් එව්වා එයාලත් හමුදාවට භාර වෙනවා කියලා. මම කිව්වා ඔයාලා කැමැති නම් ඕන දෙයක් කරන්න කියලා.”

“අන්තිමට මමත් හිතුවා යුද්ධයෙන් අපි පරදියි කියලා. මම ඒ වෙනකොටත් ප්‍රභාකරන් කොහේ ද ඉන්නේ කියලා දැක්කේ නැහැ. මට ප්‍රභාකරන් හම්බ වුණෙත් දැක්කෙත් එක පාරක් විතරයි. ඒ අපි ට්‍රේනිං එක ඉවර වුණු දවසේ.

අපිට ඕඩර්ස් දීලා තිබුණේ දිගට ම හමුදාවට වෙඩි තියන්නයි. දෙපැත්තේ ම කට්ටිය ගහගන්නවා මිනිස්සු මැදිකරගෙන. මිනිස්සු කළපුව දිගේ දුවගෙන හමුදාව ඉන්න පැත්තට යනවා. එල්.ටී.ටී.ඊ. ගහපු බෝම්බවලට දෙමළ මිනිස්සු මැරෙනවා.”

“මට බයක් හිතුණේ නැහැ. ඒත් මම දැනගත්තා තවත් යුද්ධ කළොත් මැරෙන්න වෙනවා කියලා. අන්තිමට මම හිතුවා ආමි එකට භාර වෙනවා හැරෙන්න වෙන දෙයක් නැහැ කියලා. මමම තීරණයක් අරගෙන 2009 අප්‍රේල් මාසේ 5 වැනිදා මම හමුදාවට භාර වුණා. 2009.04.29 යුද්ධය ඉවර වුණා. මම මීට කලිනුත් භාර වෙන්න හිටියා. ඒත් තැනක් තිබුණේ නැහැ. මාත් එක්ක අපේ කොල්ලෝ දහ දෙනෙක් විතර හමුදාව ඉන්න පැත්තට අත් උස්සගෙන ආවා. කොටි වෙඩි තිබ්බා. ඒ මැද්දේ තමයි අපි හමුදාව පැත්තට ආවේ. හමුදාවේ අය අපිට හොඳට සැලකුවා. බෙහෙත් දුන්නා. කන්න දුන්නා. වතුර දුන්නා. එතැනදි තමයි දැනගත්තේ අපේ නායකයා ප්‍රභාකරන් වෙඩි කාලා මැරුණා කියලා. මමත් හිටියා නම් මාත් වෙඩි කනවා. මම මැරෙන්න බලාගෙන තමයි යුද්ධ කළේ. අනිවාර්යෙන්ම මැරෙන බවත් මම දන්නවා. ඒත් අන්තිමට මගේ හිත වෙනස් වුණා.”

“හමුදාවේ අය අපිට හොඳට සැලකුවා. හැම දෙමළ මිනිහටම ආමි එක උදවු කළා. සිංහල මිනිස්සු කියන්නේ අපිට වැඩිය හොඳ මිනිස්සු කියලා දැනගත්තා. ඒ නිසා ප්‍රභාකරන් මැරුණු එක ගැන සතුටු වුණා. මම හිතාගත්තා මම ආයෙත් වැරදි කරන්නේ නැහැ කියලා.”

මෙලෙස යුද්ධ හමුදාවට භාර වූ රාජන් ඇතුළු සෙසු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් රජය විසින් පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීමට කටයුතු කළේ ඉන්පසුවය. පුනරුත්ථාපන කඳවුරු තුළදී මොවුන්ගේ අදහස් හා සිතිවිලි වෙනස් මගකට යොමුව තිබිණි. සහජීවනය සබැඳියාව ගැන හොඳ අවබෝධයක් මොවුන්ට ලැබිණි. ගිනි අවිය වෙනුවට පතපොත, ආගම දහම ගැන කියාදීමද මෙම කඳවුරුවලදී සිදුවිණි. හමුදා නිලධාරීන් ඔවුන්ගේ සුබසාධනය ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමත් සමග මෙතෙක් කල් හමුදාව කෙරෙහි ඔවුන් තුළ ඇතිව තිබූ වෛරය, ක්‍රෝධය ඔවුන්ගෙන් ක්‍රමයෙන් පහව යන්නට වුණා.

“හමුදාව අපිට සලකපු විධියෙන් අපිට තේරුණා අපේ නායකයෝ අපිව රවට්ටලා තියෙන්නේ කියලා. සිංහල හමුදාව සතුරෝ කියලා අපිට කිව්වට ඒ අය කොච්චර හොඳද කියලා අපිට හිතුණා. ආමි එකේ සර්ලා ඒ තරම් හොඳට අපිට සැලකුවා.”

“අනාථ කඳවුරුවල ඉන්නකොට සිංහල මිනිස්සු අනුරාධපුරේ ඉඳලා කෑම අරගෙන ඇවිත් අපිට බෙදුවා. අපිත් එක්ක කතා කළා. ඒ වෙලාවේ අපිට හිතුණා සිංහල මිනිස්සු කොච්චර හොඳද කියලා.”

“කඳවුරුවල ඉන්න කොට ජනාධිපතිතුමා අපිව බලන්න ආවා. අපිත් එක්ක කතා කළා. ඔයාලා හොඳින් ජීවත් වෙන්න අපි ඔක්කොම සහෝදරයෝ කියලා කිව්වා. මගේ හිත ටිකෙන් ටික වෙනස් වුණා. අපි මොකටද යුද්ධ කළේ කියලා හිතුවා. “ඇයි අපි සිංහල මිනිස්සු ගැන වැරදියට හිතුවේ කියලා හිතුණා.”

මෙලෙස පුනරුත්ථාපන කඳවුරක කාලයක් සිට යළි සමාජගත වූ රාජන් තම උපන් ගමට ගියේ ඉන් අනතුරුවය. උපතින් හින්දු ආගම වැලඳගෙන සිටි ඔහු බුද්ධ ධර්මය වෙත ඇදී ගියේ සිංහල ජාතිය කෙරෙහි තැබූ තවත් විශ්වාසයක්ද සමඟින්ය. නයාරු ගුරුකන්ද විහාරයේ මේධාලංකාර හිමියන්ගේ ඇසුරට රාජන් යොමු වන්නේ ඒ නිසාය.

“හාමුදුරුවනේ මටත් බුදු හාමුදුරුවෝ ගිය මාර්ගයේ යන්න ආසයි.”

මේධාලංකාර හිමියන් නිතර දකින්නට යෑමත් සමඟ උන්වහන්සේගේ ධර්මය ඉගෙන ගත් රාජන්ට ඒ වනවිට සිංහල භාෂාව හැසිරවීමට ද හැකියාව තිබිණි. කඳවුරු තුළදී සිංහල කතා කිරීමට ඔහු පුරුදුව සිටියේය.

“ඔන්න ඔය අතරේ තමයි මම රුවන්වැලිසෑය වඳින්න ගියේ… එදා මට හිතුණා බුදු දහමේ වටිනාකම. මම බුදු දහම පස්සේ ගියා. මම ඒ ගැන පැහැදිලා ලක්‍ෂ තුනහමාරක් විතර වියදම් කරලා රුවන්වැලි සෑය වටේ පිඩලි ඇල්ලුවා.”

මගේ හැම උපන් දිනයටම මම රුවන්වැලිසෑය වඳින්න ගියා. තවමත් මම හැම පෝයටම රුවන්වැලිසෑය වඳිනවා. ගිය අවුරුද්දේ මගේ උපන් දිනය දවසේ රුවන්වැලිසෑයට අටපිරිකර 150ක් මම පූජා කළා.”

මේධාලංකාර හිමියන්ගේ අපවත්වීම ගැන ඔහු තුළ ඇත්තේ දැඩි දුකකි. ඒ බුද්ධ ධර්මය ගැන ඔහු කිසියම් අවබෝධයක් ලබාගත්තේ උන්වහන්සේ නිසාය. උන්වහන්සේට කරන ගෞරවයක් හැටියට ලක්‍ෂ හයහමාරක් විතර වියදම් කොට නයාරු ගුරුකන්ද විහාරයට බුදු පිළිමයක් තනා දෙන්නටද රාජන් කටයුතු කළේ ය.

ඒ වගේ ම වැලිඔය දේවගිරි විහාරයට චෛත්‍යයක් ඉදිකරන්නත් මම කටයුතු කරනවා. ඒකෙ අඩිතාලම දාලා ඉවරයි. ඒ පන්සලට වඳින්න එන අයට චෛත්‍යයක් නැහැ. ඒ නිසා තමයි මම චෛත්‍යයක් හදන්න අදහස් කළේ. ඒකට ලක්‍ෂ 40ක් විතර වියදම් වෙනවා. ඒක ඉවරවෙලා අනිත් පන්සල්වලටත් මම උදවු කරනවා…”

“මම හැම පෝයකටම පන්සලකට යනවා. ගිහින් පිරිකර දීලා කෑම අරන් දීලා එනවා. එදාට මගේ හිතට පුදුම සතුටක් දැනෙනවා.”

“මගේ දෙමළ යාළුවන්ටත් කියන්නේ පන්සලට ගිහින් විනාඩියක් කල්පනා කරලා බලලා කරපු වැරැදි හරිගස්සගන්න කියලයි. ඒ නිසා දැන් මම ගොඩාක් ලොකු ලොකු හාමුදුරුවෝ හඳුනනවා” රාජන් එසේ කියන්නේ පුදුමාකාර සතුටකිනි.

සිංහල සංවිධානයේ මහ ලේකම් මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ටද රාජන් තුළ ඇත්තේ මහත් ගෞරවයකි. උන්වහන්සේගේ ගුරු හරුකම් පිළිපදිමින් බෞද්ධ දර්ශනය කෙරෙහි හිත යොමු කරමින් අනාගතය සුබවාදී කර ගන්නට රාජන් ගන්නේ මහත් වූ වෙහෙසකි. පඤ්ඤාලෝක හිමියන්ට රාජන් මුණගැසෙන්නේ දානමය පින්කමක් සඳහා ඔහුගේ මුලතිව් නිවෙසට වැඩම කළ දිනයකදී ය.

“දවසක් අමිතඝෝෂ හාමුදුරුවෝ දහවල් දානයකට මට ආරාධනා කළා. අපි ගියේ රාජන්ගේ ගෙදරට. එදා තමයි මට රාජන් මුණගැහෙන්නේ. එයා අපිව පිළිඅරගෙන දානය දීලා මුලතිව් ටවුමට අපි එක්කගෙන ගිහින් ජීවිත කතාව කිව්වා. රාජන් දැන් බුදු දහමට අනුව හැඩගැහෙන්න උත්සාහ කරනවා. රාජන් වගේ අය සම්බන්ධ කරගෙන සමාජ ප්‍රවාහයට එකතු කරගෙන අවංක සංහිඳිහාවක් ඇති කිරීම තමයි අපේ බලාපොරොත්තුව… අපි මුලතිව් සපුමල්ගස්කඩ විහාරයට වැඩම කරපු හැම අවස්ථාවකම එයා අපිව එයාගේ ගෙදරට එක්කගෙන ගිහින් දානය දෙනවා. කොළඹ ආවාම බලන්න එනවා” පඤ්ඤාලෝක හිමියෝ කීහ.

“ත්‍රස්තවාදයේ නිමාවත් එක්ක උතුර, නැඟනහිර අහිමි වූ සිංහල බෞද්ධ ජනතාවගේ උරුමය යළි ස්ථාපිත කරන්නට අපි උතුරට සිය වතාවක් විතර යන්න ඇති. එහෙම ගිහින් තමයි අපි යාපනයේ එකම සිංහල ගම්මානය ඉදිකළේ. විනාශ වූ බෞද්ධ උරුමයන් යළි ස්ථාපිත කරන ගමන් දෙමළ ජනතාවගේ හිත දිනා ගැනීම සඳහා අපි අවංක ප්‍රයත්නයක් දැරුවා. ඒ නිසා දෙමළ මිනිස්සු අපිත් එක්ක ළෙන්ගතු වුණා. දෙමළ බෞද්ධ සංවිධානවලට අපි ධම්මපදය පවා බෙදලා දුන්නා…”

“යුද්ධයෙන් පස්සේ අපිට ගොඩාක් අත්දැකීම් තියෙනවා. යාපනයේ සිංහල ගම හදනකාලේ අපිට අත්උදව්වට දෙමළ තරුණයෙක් ආවා. අපි වැඩ ඉවර කරලා කොළඹට එන්න  හදන කොට ඒ තරුණයා අපිට කොළඹ ගෙනියන්න තල් කඩන්න ගියා. ඒත් එයා ගහෙන් වැටිලා තුවාල පිටින් අපේ ළඟට ආවා අඬාගෙන. එදා එයා අඬාගෙන ආවේ තුවාල වුණු හින්දා නොවේ. තල් කැඩුවට පස්සේ නම් ගහෙන් වැටුණත් දුක නැහැ කියලා එයා කිව්වා. එයා හැඬුවේ අපිට තල්ගෙඩි දීගන්න බැරි දුකට. ඒ අවංක සංවේදී හිත් විනාශ කළේ කවුද? අපිට ඒ හිත්  හදන්න පුළුවන්. ඒ සඳහා අද දවසේ ජීවමාන සාක්‍ෂිය තමා ඔය කිරුබාකරන්. අපිට ගොඩක් සතුටුයි මෙවන් ජීවමාන සාක්කියක් සමාජය හමුවට ගේන්න ලැබුණාට. අපි ඔහු සමාජයට අනාවරණය කළේ අන් කිසිවක් නිසා නෙමේ, මේ රටේ ඕනෑම ජන වර්ගයකට සිංහල බෞද්ධ මහ වෘක්ෂය යට හෙවණ තියෙන බව පසක් කරන්න. ඒ විතරක් නෙමේ ප්‍රධාන ප්‍රවාහයට අනුගත වන පුද්ගලයාට මේ මහ පොළොවේ සැබෑ හිමිකම ලැබෙන බව පසක් කරන්න. ඒ වෑයම සාර්ථකයි කියලා මම හිතනවා.”

“අද බුදු දහමේ නිදහස හා සුවය විඳින මොහු අන්තවාදයට, ත්‍රස්තවාදයට ප්‍රධාන ප්‍රවාහයේ ඉඩක් නැති බව ලෝකයට ඔප්පු කරමින් ඉන්නවා. ඔහු නුදුරේදී අප සමඟ ජිනීවා මානව කොමිසම ඉදිරියේ අවස්ථාවාදී ත්‍රස්තවාදී දෙමළ ඩයස්පෝරාවට හා දේශීය ඊළාම්වාදී දෙමළ දේශපාලන නඩයට එරෙහිව වගේ ම එල්.ටී.ටී.ඊ.යේ බිහිසුණුකම්, අමානුෂිකකම්, බලහත්කාරකම් ලෝකයට කියන්න සූදානම්. ලංකා රජය අත්පත්කර දුන් සාමයේ සැබෑ නිදහස භුක්ති විඳින අයුරු කියන්න ඔහු දැනටමත් සූදානම්. මම හිතනව අපි සැබෑ සංහිඳියාවක් ගොඩනඟන්න මොහු පාලමක් කරගත යුතුයි කියලා. ව්‍යාජ සංහිඳියාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් වගකිවයුත්තන්ගේ අවධානය මොහු සමාජයට අනාවරණය කිරීම තුළින් බව අපි අපේක්ෂා කරනවා.”

උන්වහන්සේ මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අවධාරණය කළහ.

බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇසුරු කරමින් බෞද්ධ දර්ශනයට අනුව මුලතිව් ප්‍රදේශයේ ඔහු ජීවත් වන්නේ කොන්ත්‍රාත් ව්‍යාපාරයක යෙදෙමිනි. 

“අද මම මුලතිව්වල ඉන්නේ රජෙක් වගේ. ඉස්සර අපිට මේ නිදහස තිබුණේ නැහැ. මේ නිදහස අපි හැමෝට ම අත්පත් කරලා දුන්න ගෝඨාභය මහත්තයටයි, මහින්ද මහත්තයටයි මුළු ජාතියේ ම ගෞරවය හිමිවෙනවා. එතුමන්ලා නිසා අද අපි නිදහසේ ජීවත් වෙනවා” 

“අද මා ගාව සිංහල තරුණයෝ හුඟාක් වැඩ කරනවා. අද මම වැරැදි කරන්නේ නැහැ. පුළුවන් තරම් උදවු තමයි කරන්නේ. චෛත්‍යයේ වැඩ ඉවර වුණාට පස්සේ අනෙත් පන්සල්වලටත් උදවු කරනවා.” 

මුලතිව් මුල්ලයාවලි ප්‍රදේශයේ පදිංචි කිරුබාකරන් දෙදරු පියෙකි. ඔහු සිය දරුවන් හා බිරිය සමඟ සතුටින් ජීවිතය ගත කරයි. එහෙත් මේ දින දෙක තුළදී ඔහුගේ සිතට කිසියම් තර්ජනයක් ඇති වී තිබේ. ඒ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකලාපය විවේචනය කරමින් ශ්‍රී ලංකා හමුදාවට ප්‍රශංසා මුඛයෙන් කතා කිරීම හේතුවෙනි. 

“මට අදත් කෝල්ස් ආවා. ඒ ආවේ දෙමළ ඩයස්පෝරාවෙන් කියලා මම දන්නවා. කැනඩාවෙන් තමයි කතා කළේ. එයාලා මගේ කතාව වෙබ්වල දාලා. ඒකට මට කැත විදිහට බැන්නා. මගේ ජීවිතයටත් තර්ජනය කළා” 

කිරුබාරකරන් කියන්නේ කිසියම් වූ කනගාටුවකිනි.

එල්.ටී.ටී.ඊ.ය කළ අමානුෂිකකම් හා ක්‍රියාකාරකම් කවදා හෝ ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ කියන්නට ඔහු කැමැත්තෙන් සිටී. මේ සම්බන්ධයෙන් විමසීමේදී සිංහල සංවිධානයේ මහ ලේකම් මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පැවැසුවේ යුරෝපා රටවල සිංහල සංවිධාන කිහිපයකින් දැනටමත් මේ සම්බන්ධයෙන් ආරාධනා ලැබී ඇති බවත් යෝගරාසා කිරුබාකරන්ව ද මීට සම්බන්ධ කර ගැනීමට අදහස් කරන බවය.

(මවුබිම)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here