“ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ.
පැවති යහපාලන රජය සමයේ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත වීම අද දින සිදු විය.
සබැඳි පුවත්..
හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබේ. පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි. යුරෝපා තාක්ෂණය සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණ භාවිතයෙන් නිෂ්පාදන සිදු කෙරේ.
SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක්, මෝටර් රථ, යතුරු පැදි, ත්‍රී රෝද ඇතුළු ලෝක වෙළඳපොළට අවශ්‍ය ටයර් වර්ග රැසක් මෙහි නිපදවනු ලැබේ. නිෂ්පාදනයෙන් 80%ක් අපනයනය කෙරෙන අතර ඉතිරි 20% දේශීය වෙළෙඳපොළට සැපයේ. සමාගමේ ප්‍රථම නිෂ්පාදන තොගය මේ මස ඇමෙරිකාවට අපනයනය කිරීමට නියමිත ය.
මෙරට අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය, සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය සහ දේශීය රබර් වගාකරුවන්ට ඉහළ මිලක් හිමිවීම කර්මාන්තශාලාවෙන් හිමිවන ප්රතිලාභ අතර වෙයි.
නිෂ්පාදන ක්ෂේත්රයේ පැවති සම්මත සීමාවන් අභිබවා යමින් තාක්ෂණික අංශවල තනතුරු සඳහා නිසි සුදුසුකම් සපිරෑ කාන්තාවන් බඳවා ගැනීමට ද ආයතන කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ. කර්මාන්තශාලාව පරිසර හිතකාමී ලෙස ඉදිකිරීම ද විශේෂත්වයකි.
පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ක් ලබාගත් ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්මි යසස්මි දියණියට තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද අමරවීර, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, කනක හේරත්, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරු සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.