Home Hit ආර්ථික අපහසුතා මැද අකුරු කල චන්ද්‍රිකාගේ දරුවෝ

ආර්ථික අපහසුතා මැද අකුරු කල චන්ද්‍රිකාගේ දරුවෝ

566
0

සිය උසස් පෙළ විභාගය සම්පූර්ණ  කිරීමෙන් පසුව යශෝධරා 1998 වසරේදී වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස කේම්බි්‍රජ් සරසවියෙහි කෝර්පස් ක්‍රිකට් විද්‍යායතනයෙහි ප්‍රවේශයට අවස්ථාව ලද්දීය. එපරිද්දෙන්ම විමුක්තිද පශු වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස බි්‍රස්ටල් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලද්දේය. ඒ අනුව පළමු තෙවසරක කාලය සඳහා අධ්‍යාපන ගාස්තු ලෙස බි්‍රතාන්‍ය පවුම් 11,000 සහ නවාතැන් පහසුකම් සඳහා තවත් පවුම් 2500 වෙන් වෙන් වශයෙන් වාර්ෂිකව සපයාගත යුතු විණි. ඒ අවධිය වන විට ජනාධිපතිවරිය ලෙස මගේ මාසික වැටුප රුපියල් 25,000කි. මට උරුම වතුවලින් සහ රොස්මීඞ් පෙදෙසෙහි මගේ නිවස කුලියට දීමෙන් මා ලද පුද්ගලික ආදායම රුපියල් 300,000කි. 


මට ඒ හැර අන් ආදායමක් නොවූ සේම මට අවැසි මුදල් දීම සඳහා සැමියකු හෝ දෙමාපියන්ද සිටියේ නැත. ඉදින් මම ගණන් සෑදීමට පටන් ගතිමි. මා මගේ මූලික අවශ්‍යතාවන් ඉක්මවා වියදම් කිරීමෙන් වළකින්නේ නම් අදාළ මුදල කළමනාකරණය කිරීමට මට හැකි බව එහිදී පෙනී ගියේය. ඒ අවධිය යන විට බි්‍රතාන්‍ය පවුමක හුවමාරු අගය ශ්‍රී ලංකා රුපියල් අසූපහකි. මට අදාළ මුදල් කළමනාකරණය කරගත හැකි දැයි මගේ දියණිය මගෙන් විමසා සිටියාය. මම ඇයට ඒ පිළිබඳව කරදර නොවන්නැයි පවසා අපට කෙසේ හෝ එය පිරිමසාගත හැකි බව පවසා සිටියෙමි. අපට මෙය කෙසේ හෝ කළමනාකරණය කරගත හැකිවන බවට ගැඹුරු විශ්වාසයක් මගේ හද පත්ලේ තිබිණි. සැබැවින්ම අවශ්‍යතම අවස්ථාවකදී මට හොරගොල්ල ඉඩමින් කොටසක් අලෙවි කළ හැකි බවට විශ්වාසයක් තිබිණි. එය සැලකිය යුතු වටිනාකමකින් යුක්ත වූ එකකි. කෙසේ වෙතත් මට කිසිත් නොපවසා අන්තර්ජාලය පිරික්සන්නට ගත් යශෝධරා ‘කොමන්වෙල්ත් කේම්බි්‍රජ් ට්‍රස්ට්’ යනුවෙන් හැඳින්වෙන භාරගත් මගින් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල අවශ්‍යතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන බව සොයා ගත්තාය. ඒ අනුව ඇය ඊට අයදුම් කළ අතර අදාළ තෙවසර සඳහා ඇයට වාර්ෂිකව පවුම් 6000 බැගින් උපරිමයක් ලබා දිය හැකි බවට දන්වන ලදී. එය අපට මහත් අස්වැසිල්ලක්ම විණි. ඒ තත්ත්වය යටතේ මට ඊට අමතරව වසරකට සොයා ගැනීමට අවශ්‍ය වූයේ පවුම් 7000ක මුදලක් පමණි. සැබැවින්ම එය මට සොයාගත හැකි සීමාවෙහි පැවතියකි.


මේ ගැන සොයා බැලූ මට පොදුරාජ්‍ය මණ්ඩලීය භාරයෙහි සභාපතිවරයා වශයෙන් කටයුතු කරනුයේ මගේ මිතුරකු වන එසේම එවක පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ මහ ලේකම්වරයා වශයෙන් ධුරය දැරූ එමෙකා අන්යාඔකු බව දැන ගතිමි. ඔහුට මගේ කෘතවේදීත්වය පළ කිරීමට කොළඹ සිට ලන්ඩනය ඇමතූ මම ඔවුන් විසින් පිරිනමනු ලබනා උපරිම මුදල ලබා ගැනීම මසිතට බරක් ලෙස දැනෙනා බවත් ඉන් අඩක් පමණක් යශෝධරා හට ලැබෙන්නේ නම් එය ප්‍රමාණවත් බවත් ඉතිරිය මෙය වඩාත් අවශ්‍යව ඇති සිසුවකුගේ ශිෂ්‍යත්වය පිණිස යෙදවිය හැකි බවත් වැඩිදුරටත් දන්වා සිටියෙමි. ඒ අවස්ථාවේදී ප්‍රධානී අන්යාඔකු විසින් තෙපලන ලද වදන් තවමත් මගේ දෙසවන්හි රැව් නැගෙයි. ‘ජනාධිපතිතුමියනි, කරුණාකර මෙය භාරගන්න. අවංකත්වය සහ ඒකාග්‍රතාවය යන දුර්ලභ ගුණයන් පළකර සිටින ඔබවන් නායකයන් දිරිගැන්වීම ලොවට අවශ්‍යව තිබේ’ මම ඉන් තදින්ම කම්පනයට පත්වූවෙමි. අප දෙදෙනාම තම ධුරයන්ගෙන් ඉසිඹු ලද පසුවද බොහෝ කලක් තිස්සේ අපි තවමත් මිතුරන්ව සිටිමු. විමුක්ති පශු වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස ප්‍රින්සේසටන් සරසවි ප්‍රවේශය ලබනා තුරු දෙවසරක කාලයක් උදෙසා එසේ කේම්බි්‍රජ් සරසවියෙහි යශෝධරාගේ වියදම් කළමනාකරණය කර  ගැනීමට මම සමත් වීමි. ඔහුගේ අධ්‍යයන ගාස්තු පවුම් 9000ක් වූ අතර නවාතැන් සඳහා තවත් පවුම් 2000ක් සපයා ගත යුතු විණි. ඔහුද සිය අධ්‍යාපනය සම්පූර්ණ කළ අතර ඔහුටද පවුම් 2000ක ශිෂ්‍යත්වයක් ලැබිණි.


දැන් මට මුදල් අසීරුතා දැනෙන්නට පටන් ගැණින.


විමුක්තිගේ සරසවි දිවියෙහි පළමු වසර සහ යශෝධරාගේ තෙවැනි වසර අවසනදී මම මා සතු දෙවැනි දේපල ඔවුන්ගේ අධ්‍යාපනය උදෙසා විකුණා දැමීමි. එනම් පොල්හේන්ගොඩ නිවෙස විකුණා ඒ මුදල් ස්ථාවර තැන්පතුවල ආයෝජනය කළෙමි.


මම පළමු ඉඩම් කට්ටිය එනම් විජයගෙන් උරුම ලද ඉඩමක් දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා විකුණා දැමීමි. මේ සඳහා මට රුපියල් මිලියන 4.5ක් ලැබුණ අතර මම වහාම එය ස්ථාවර තැන්පතුවල ආයෝජනය කළෙමි. මෙකී ආයෝජනයන් සහ මගේ මාසික ආදායම එකතුව ගත් කල මට 1998 සිට 2005 දක්වා වූ කාලය තුළ මගේ දරුවන්ගේ විදෙස් අධ්‍යාපනය සඳහා ඇවැසි මුදල් කළමනාකරණය කරගත හැකිවිණි.


විශ්‍රාම ලැබීමෙන් අනතුරුව උපදේශකයන් වශයෙන් තනතුරු ලැබ සිටින බොහෝ අන් රටවල රාජ්‍ය ප්‍රධානීන් පරිද්දෙන් මම ද පුද්ගලික අංශයෙහි උපදේශන සේවා සැපයීම සඳහා අවස්ථා සොයන්නට පටන් ගතිමි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කරමින් සිටි ශ්‍රී ලාංකික සමාගම් මෙන්ම විදෙස් සමාගම්ද මගේ සේවය ලබා ගැනීමට අකැමැත්තක් දැක්වූවෝය. ඔවුන් එසේ අකැමැත්ත දැක්වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් මා වෙත දක්වන ලද වෛරී සහගත ආකල්පය ඔවුන් මැනවින් දැන සිටි හෙයිනි. එවන් තත්ත්වයක් යටතේ මම මා සතු වටිනා දේවල් අලෙවි කිරීමට පටන් ගතිමි. මගේ ඉසිබු දිවියෙහි වසර 18 කාලය තුළ මේ දක්වා මම කොළඹ නගරය තුළ මා සතුව පැවති නිවෙස ඇතුළුව මගේ දේපල හයක් අලෙවි කර ඇත්තෙමි. මින් මා ලබනා ආදායමින් අඩක් මගේ දරුවන්ට දී ඉතිරිය ආරක්‍ෂිත යයි සැලකෙන ස්ථාවර තැන්පතුවල ආයෝජනය කළෙමි. එසේම මම මා සතු දේපල සංවර්ධනය කිරීමට සහ මට හිමි ඉන්ධන පිරවුම් හලෙහි කටයුතු කළමනාකරණයට කාලය වැය කළෙමි. එහෙයින් දැන් මට සුවපහසු දිවියක් ගත කිරීමට මෙන්ම මා සතු මුදල් පිළිබඳව විස්සෝප නොවෙමින් මට ඇවැසි දෙයක් කිරීමට තරම් වන ආදායමක් ලැබෙයි.


මා පමණට වඩා ත්‍යාගශීලී බවත් කිසි දිනෙක හෝ ගත් ණය ආපසු නොගෙවන මිතුරන් සහ දන්නා හඳුනන අයට ණය දීමට නොපැකිළෙන බවත් පවුලේ අය මෙන්ම මගේ හිත මිතුරෝද නොයෙක්වර මට පවසති. නමුදු ඒ මගේ ස්වභාවය බව කිව යුතුය.


මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මට උපදෙස් සපයන මගේ මිත්‍රයෙක් කොමිස් කුට්ටි කිහිපයක් භාරනොගන්නා මා කෙතරම් මෝඩියකදැයි මගෙන් වරක් විමසා සිටියේය. ඒ මා ඉසිබු ලද පසුව ලන්ඩනයේ ගත කළ පළමු වසර කිහිපය තුළ ජීවන වියදම් සපුරා ගැනීම සම්බන්ධයෙන් මා අපහසුතාවන්ට මුහුණදෙමින් සිටි සමයයි. ඇතැම් විට ඔහුගේ අදහස නිවැරදි විය හැකි යයි හැඟී ගිය හෙයින් මම මදක් වේලා නිහඬව සිටියෙමි. එහෙත් මේ ගැන තවදුරටත් කල්පනා කර බැලීමෙන් පසුව කාරණා දෙකක් හේතුවෙන් මම මගේ රජය යටතේ මවිසින් කටයුතු කරන ලද ආකාරය ගැන ආඩම්බර වන බව ඔහුට පවසා සිටියෙමි. පළමුව ඉන් මට මගේ සාමකාමී හෘද සාක්ෂිය පවත්වා ගනිමින් ජීවත්වීමට හැකිව තිබේ. දෙවැන්න ශ්‍රී ලංකාව යනු ඕනෑම දෙයක් ප්‍රසිද්ධියට පත්විය හැකි කුඩා රටකි. සැමවිටම පාහේ මගේ පශ්චාත් විශ්‍රාම සමය තුළ මට අවැසිව තිබූ එක් දෙයක් වූයේ පුරවැසියන් මගේ මුහුණට කෙළ ගසනු නොදකිමින් හිස නගාගෙන මගේ රටෙහි වීදි දිගේ නිදහසේ පිය නගා යා හැකි තත්ත්වයක් ඇතිකර ගැනීමයි. ඉදින් මා ඒ තත්ත්වය දිනාගෙන ඇති බව මම මගේ මිතුරා හට පැවසීමි. මගේ ජාතියට සේවය කිරීම උදෙසා කැප කරන ලද වසර ගණනාවක කාලයෙන් පසුව මා අපේක්‍ෂා කළ පරම ත්‍යාගය නම් එයමය.


රජය තුළ කිසියම් දූෂණයක්  සවන් වැකි සෑම අවස්ථාවකදීම මම දිගටම කම්පනයට හා භීතියට පත්විමි. නායකයන් හට මෙසේ හෘද සාක්‍ෂිය අත්හැර දමන්නට හැකිවන්නේ කෙසේදැයි මටනම් වටහා ගත නොහැකිය.


ඉතිරිය ඉදිරියට…

ලංකාදීප වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here