Home Hit එක්සත් රාජධානියෙන් චම්පිකට ප්‍රශ්නයක්

එක්සත් රාජධානියෙන් චම්පිකට ප්‍රශ්නයක්

665
0

අමාත්‍ය පාඨලී චම්පික රණවක වෙත සමාජජාල මාධ්‍ය හරහා යොමුකල ප්‍රශ්න සදහා පිළිතුරු ලබාදීමේ විශේෂ Q&A සංවාද සැසියක් ඊයේ (28) කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය හෙවත් වරාය නගර පරිශ්‍රයේදී පැවැත්වුණා.

මෙම අවස්ථාව සදහා සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයින් පිරිසක් ද සහභාගී වූ අතර එහිදී කොළඹ වරාය නගරයේ අනාගත සැලසුම් මෙන්ම අමාත්‍යවරයා වෙත සජීවීව ඉදිරිපත් කල ප්‍රශ්න රැසකට පිළිතුරු ලබාදෙනු ලැබුවා.

එම අවස්ථාවේ එක්සත් රාජධානියේ සිට ස්කයිප් මාධ්‍ය හරහා සම්බන්ධ වූ තිලාන් ජයසේකර අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ, 2015 ද්විත්ව පුරවැසිභාවය නැවත හඳුන්වා දීමත් සමඟ ලාංකිකයින් 35,000කට අධික පිරිසක් එය ලබාගෙන ඇති අතර ඉන් සැළකිය යුතු තරුණ වෘත්තිකයින් පිරිසක් ස්ථිර පදිංචිය සඳහා නැවතත් ලංකාවට පැමිණ තිබෙනවා. පාස්කු ප්‍රහාරයත් සමඟ ඔවුන් එම තීරණය සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසුවන අතරම ඔවුන් නැවතත් විදෙස් ගතවීමට තීරණය කර තිබෙනවා. මගේ ප්‍රශ්නය තමයි ඔබතුමන්ගේ ඉන්න හිතෙන රටක් සංකල්පය යටතේ රටින් සංක්‍රමණය වීමට සිටින පිරිසට ඔබතුමන් ලබාදෙන තහවුරුව කුමක් ද ? යන්නයි.

එයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා,

අද මේ රටේ ජනගහනයෙන් 15%ක් හෙවත් ලක්ෂ 30ක් විදෙස් රටවල රැකියා කරනවා හෝ ජීවත්වෙනවා. මේකෙන් ලක්ෂ 10ක් මේ රටේ නිදහස් අධ්‍යාපනය විසින් ඇති කළ කිසියම් හෝ හසුරු කුසලතාවයක්, වෘත්තීයභාවයක් ලබාගත්ත අය. ඉංජිනේරු, වෛද්‍ය ආදී ඉහළ ගණයේ ඉඳන් යම්කිසි පහළ ගණය දක්වා ලබාගත්ත පිරිසක්.

අපි දන්නවා මේ රටේ තරුණ කැරලි කිහිපයක් ඇතිවුණා සමාජ අසාධාරණයට විරුද්ධයි කියන. එයින් පිරිසක් මියගියා. තවත් පිරිසක් බියෙන් වෙනත් රටවල් වලට පලාගියා. එමෙන්ම LTTE බෙදුම්වාදය නිසා පිරිසක් රටින් පළාගියා.

මං නිතර කියන දෙයක් තමයි ලංකාවේ සිංහල ජනගහනයෙන් කොළඹින් පිටත වැඩිම සිංහල ජනගහනයක් වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ. ඒ වගේම ලංකාවේ නාගරික දෙමළ ජනතාවගෙන් යාපනයේ හැරුණාම වැඩිම දමිළ ජනතාවක් ජීවත් වෙන්නේ කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ. එහෙම නැතුව මේ අනෙක් නගර වල නෙවේ.

ඉතින් මේ තත්වය අපි මේ ඉදිරි කාලයේදී අපේ රටේ ඇති වූ යම් යම් ප්‍රශ්නත් එක්ක ඔය ඇති වූ පාස්කු ඉරිදා ප්‍රහාරය, මාර්ග තදබදය, සමාජ අවිනය, දේශපාලන අස්ථාවරත්වය මේ සියල්ල විසින්ම අපේ අය අතර ඇති කරන ආතතිය, අසහනය විශේෂයෙන්ම තරුණ පරම්පරාව, වෘත්තීය පරම්පරාව රටින් පිටට තල්ලු කරලා දානවා.

එක නිසා තමයි අපි මෙවැනි ව්‍යාපෘතියක් දියත් කරලා තියෙන්නේ. මේ ව්‍යාපෘති වල අරමුණ ලෝකයෙන් පිටත ඉන්න පිරිසටත් ලාංකිකයන්ටත් තමන්ගේ රට තුළ දොරටු විවෘත කරලා තියනවා. ඒ කියන්නේ ඕනෑම විදේශ රටක තියෙන මට්ටමේ ප්‍රවාහන පහසුකම්, ජීවන පහසුකම් ලබාදීම. අපගේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ අරමුණ එයයි. අපගේ තාක්ෂණ නගරයේ අරමුණ ඒකයි. ඒ අයට මේ රට තුළම නව තාක්ෂණයත් එක්ක හතරවෙනි කාර්මික විප්ලවයත් එක්ක ඉදිරියට යන්න. කැලිකසල කලමනාකරයේ, කොළඹ පිරිසිඳු ජල තලය ඇති කිරීමේ අරමුණ ඒකයි.

මං හිතනවා ඒ සියලු උත්සාහයන් ආපස්සට හරවන්න පුළුවන් ඒවා නෙවෙයි දේශපාලන වශයෙන්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදියට මැතිවරණ තියන්න ඕන, ආණ්ඩු පෙරලෙන්න ඕන, පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදත් එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක් වුණා. නමුත් රට පෙරට යනවා. මට එකක් කියන්න පුළුවන්. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති වූ අස්ථාවර වාතාවරණය ඉතාමත් දරුණුවට ආර්ථිකයට බලපාලා තියෙනවා. නමුත් ක්‍රමයෙන් අපි දැන් ඒකෙන් නැගිටිමින් ඉන්නවා. අපේ ආරක්ෂක අංශ අපි විධිමත්කරණය කරන්න ඕන. අපි නව ත්‍රස්තවාදයට මුහුණදිය හැකි නව සුහුරු හමුදාවක් අපි බිහිකරගන්න ඕන. ඒ වගේම මේ ත්‍රස්තවාදය පිටුපස යම් යම් දෘෂ්ටීන් තියනවා නම් ඒ දෘෂ්ටීන් මුලිනුපුටා දැමීමට අවශ්‍ය නව නීති සකසන්න ඕන රට ස්ථාවර කරන්න නම්. අපි මුහුණ දීලා තියෙන්නේ යම් අන්තර්ජාතික ත්‍රස්තවාදයකට. ඒකට අපි නිර්භයව මුහුණ දෙන්න ඕන. මං හිතන්නේ අපේ ආරක්ෂක අංශ ඉතා සීඝ්‍රයෙන් කටයුතු කරලා රට සාමාන්‍යකරණය කළා. අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා, රට වෙනස් වෙමින් තියෙනවා සෙමින් නමුත්, ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ස්ථාවර කරලා තියෙනවා. දැන් කිසි තැනක මර්දනය නෑ. නිදහස තියනවා. ඒවගේම ලෝකයේ බොහෝ තැන්වල බෝම්බ පුපුරනවා. ලෝකයේ බොහෝ ප්‍රධාන නගර වල දේශපාලන අස්ථාවරතාවයන් තියනවා. ඊට සාපේක්ෂව ගත්තාම ලංකාව තාමත් හොඳ සාමකාමී රටක්. ඒ නිසා ඉදිරියේ මේ ව්‍යාපෘති පල දරණ කොට ලංකාව පිට ඉන්න අයටත් ඉන්න හිතෙන රටක් වෙයි. රටේ ඉන්න අයටත් රට හැරයන්නේ නැතුව ඉන්න හිතෙන රටක් විදියට මේ ව්‍යාපෘති ටික සාර්ථක වෙනකොට දැනෙයි. යනුවෙන් සඳහන් කර සිටියා.

මෙම වැඩසටහන කොළඹ වරාය නගරය තුළ සංවිධානය කළ පළමු මහජන සහභාගීත්ව වැඩසටහනයි.

No photo description available.
Image may contain: one or more people
Image may contain: 1 person, smiling, standing
Image may contain: 11 people, pool and outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here