Home Hit වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගම්වාසීන් පිරිසක් කඩා වදියි – PHOTOS

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගම්වාසීන් පිරිසක් කඩා වදියි – PHOTOS

335
0

ප්‍රාදේශීය ලේකම්වරයා නිසි පරිදි ලිපි ගොනු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ජයභූමි සහ ඉඩම් බලපත්‍ර සහිත ඉඩම්වල නිවාස පිහිටි හිමිකරුවන් දෙදෙනකු ඇතුළු බලපත්‍ර සහිත ඉඩම් හිමිකරුවන් සය දෙනකුගේ ඉඩම් අහිමිවූයේ යැයි කියමින් අද (17) වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ගම්වාසීන් පිරිසක් විරෝධතාවක නිරත වූ අතර ඔවුහු හදිසියේ එම භූමිය තුළට කඩා වැදුණා.

1995 වර්ෂයේ දී ජයභූමි ඉඩම් බලපත්‍රය අනුව පර්චස් 20ක ප්‍රමාණයක් මෙම එක් නිවාසයක හිමිකරුවකුට හිමිවී ඇති අතර අනෙක් නිවාසහිමියාට ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සහතික කළ බලපත්‍රක් බව හිමිකරුවෝ පවසනවා.

මෙම නිවෙස් හිමියන් දෙදෙනාට අමතරව බලපත්‍ර හිමි තවත් ඉඩම් හිමියන් සිවු දෙනෙකු සිටියි.

1983 වර්ෂයේදී මෙම ඉඩම්වල මුල් හිමිකරු විසින් පවරන ලද නඩුවක අවසාන තීන්දුව ලෙස මුල් හිමිකරුට එම සියළුම ඉඩම්වල හිමිකාරීත්වය ලබා දී ඇති අතර මේ හේතුවෙන් එම ඉඩම්වල පසුව නිවාස ඉදිකරගත් පුද්ගලයන්ගේ නිවෙස්ද අහිමිවන බව ඔවුහු පවසනවා.

නඩුව විභාග වෙමින් තිබියදී එවකට සිටි ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිසිපරිදි ලිපිගොනු ඉදිරිපත් නොකිරීම නිසා ඔවුන්ට මෙලෙස ඉඩම් අහිමී වූ බවයි ඔවුන් පවසන්නේ.

1983 වර්ෂයේදී පවරන ලද නඩුව විභාග වෙමින් තිබියදී මෙම ගම්වාසීන්ට රජයෙන් ජයභූමි සහ බලපත්‍ර ලබා දී ඇතැයිද ඉඩමේ තීන්දුව ලබා දෙන තුරු මොවුන් ඒ සම්බන්ධයෙන් කිසිවක් දැන සිටියේ නැතැයිද සඳහන්.

තවද මුල් අයිතිකරුට ඉඩම් හිමිවීම හේතුවෙන් නිවාස අටකට පමණ ගමන් කිරීමට ඇති මාර්ගය අහිමි වී යන බවයි ගම්වාසීන් පවසන්නේ.

මේ හේතුවෙන් වලස්මුල්ල, පහළගොඩ මහායාය ප්‍රදේශයේ ගම්වාසීන් සියයකට අධික පිරිසක් අද (17) වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවේ නිරත වූ අතර විරෝධතා පුවරු අතැතිව විරෝධතා පාඨ කියමින් සිය විරෝධතාව දැක්වූ විරෝධතාකාරුවෝ සුළු වේලාවකට පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසා තිබූ ගේට්ටුව තල්ලුකර බලහත්කාරයෙන් එම භූමියට ඇතුළු වී තිබෙනවා.

විරෝධතාකරුවන් පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළට ඇතුළු වූ අතර අහිමි වූ නිවෙස්වල අයිතිකරුවන් සිවු දෙනකුට ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට එහිදී අවස්ථාව හිමිවුණා.

මොවුන් ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ සාකච්ඡා කරන තෙක් අනෙක් විරෝධතාකරුවන් පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ බිම වාඩි වී විරෝධතා පුවරු අතැතිව ඔවුන්ට සහය දක්වනු ලැබුවා.

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් අයි.ආර්.විතාරණ විසින් විරෝධතාකරුවන්ට කරුණු පැහැදිලි කර දුන් අතර අදාල ඉඩමෙහි මුල් අයිතිකරු සමඟ සාකච්ඡා කර නිවෙස් පිහිටි ඉඩම් වෙනුවට වෙනත් ඉඩම් ලබාදීමට එකඟ කරගන්නා බවට පොරොන්දු වීමෙන් පසු විරෝධතාකරුවන් විසිර ගොස් තිබෙනවා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here