Home Local ඇමතිගේ හයිය පෙන්වා රිදියගම සිටින එකම ඇත් පැටවා කතරගමට දෙන්නට සැරසෙයි

ඇමතිගේ හයිය පෙන්වා රිදියගම සිටින එකම ඇත් පැටවා කතරගමට දෙන්නට සැරසෙයි

379
0

රිදියගම සෆාරි උද්‍යානයේ සිටින එකම අලි පැටවා වන ‘ඉසිර’ කතරගම දේවාලයට ලබා දිය නොහැකි නම්, පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිටින වෙනත් අලි පැටවකු හෝ අනිවාර්යෙන්ම ලබාදිය යුතු බව වනජීවී ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා තර්ජනය කරමින් පවසා තිබෙනවා.

අමත්‍යවාරයා මෙලෙස සඳහන් කර ඇත්තේ අද (12) වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ අමාත්‍යංශයේ ප්‍රධානින් සමග පැවති සාකච්ඡාවකදීයි.

කලන මතකද?

දේවාල වලට අලි – ඇතුන් ලබා දීමේ මේ සත්ව හිංසනයට අප සම්පුර්ණයෙන්ම විරුද්ධය. දෙවිනුවර දේවාලයේ සිටි කලන ඇතාට සිදු වූ ඉරණම මෙසේ දේවාල වලට ලබාදෙන අලි පැටවුන්ගෙන් බහුතරයකට උරුම වේ. කෝට්ටේ රජමහා විහාරයේ සිටි ඇතුන් දෙදෙනකු ඉංගිරියේ පොල් වත්තකදී මිය ගියේද ඔවුන්ට නිසි පරිදි නොසැලකීම නිසා ය. කලන දරුණු තුවාලයකින් වේදනා විඳිමින් සිටි අතර, දේශපාලන ත්‍යාගයක් ලෙස වෙනත් අලියකු දෙවිනුවර දේවාලයට ලැබීම නිසා කලනගේ තුවාල වලට බෙහෙත් පවා ලබා නොදෙන ලදී. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී දයා නෙත්තසිංහ විසින් අනාවරණය කිරීමෙන් පසු, කලනව රිදියගම සෆාරි උද්‍යානයට යොමුකරන ලදී.

සිඟිති ඉසිර

වසර 20 කට පමණ ඉහතදී පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයට රැගෙන ආ ජයතු අලියාට දාව උපත ලැබූ ඉසිර ඇතා තවමත් අවුරුදු හතක් පමණ වන වියේ පසුවන ඇත් සිඟිත්තෙකි. පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය තුළ උපත ලැබූ සුවිශේෂි ඇත් පැටවුන් දෙදෙනකු වූ ‘සින්දු’ හා ‘රාජු’ යන ඇත් පැටවුන්ට අත්වූ ඛේදවාචකය ඉසිරට ද සිදු කිරීමට ඇමතිවරයා ඇතුළු පිරිස උත්සහ දරමින් සිටී.

සින්දු සහ රාජු

පෙරහැර සඳහා අලි හිඟයක් ඇතැයි පවසමින් අලි පැටවුන් 40කට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය අනුග්‍රහය සහිතව නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත්, පොදු දේපළ පනත ඇතුළු අණ පනත් උල්ලංඝනය කළ හීලෑ අලි හිමිකරුවෝ, සිය අලින් කිසිදු විටෙක අභිජනනය සඳහා යොමු නොකළහ. හීලෑ ඇතුන්ද, වන ඇතුන්ද සීග්‍රයෙන් අහිමි වෙමින් යන කාලයක, ‘සින්දු’ හා ‘රාජු’ යන ඇත් පැටවුන් දෙදෙනා අභිජනනය වෙනුවෙන් පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිටිය යුතුම අවස්ථාවක මල්වතු හා අස්ගිරි විහාර වෙත එම ඇත් පැටවුන් ලබා දීමට දේශපාලකයෝ කටයුතු කළහ.

විද්‍යාත්මක අලි රැඳවුම

වසර 20කට ආසන්න කාලයක් පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ ජීවත් වී අවසානයේදී කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව හොරොව්පතාන අලි රැඳවුමට නිදහස් කළ ඉසිර ඇතාගේ පියා වූ ‘ජයතු’ අලියා රැදවුමේ සිටි වන අලි පහර දීම නිසාම මියගියේය. හොරොව්පතාන අලි රැඳවුමේ අලි සංරක්ෂණය සිදුවන්නේ එසේ ය.

නීතිමය ක්‍රියාමාර්ග අරඹයි

වනජීවී ඇමතිවරයාගේ මේ අත්තනෝමතික දේවාල පිස්සුවට එරෙහිව, ඇත් පැටවුන් ආරක්ෂා කර ගැනීම සඳහා පරිසරවේදීන් සහ නීතිවේදීන් එක්ව අධිකරණ කටයුතු ආරම්භ කර තිබේ.

වනජීවී හා වෘක්ෂලතා අණ පනත් අමු අමුවේ උල්ලංඝනය කරමින් හුදෙක්ම තමන්ගේ දේශපාලන හයිය භාවිතා කොට ගාමිණි ජයවික්‍රම ඇමතිවරයා කිරීමට යන මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව නඩු කටයුත්තකට යෑම සඳහා පාරිසරික සහ සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය විසින් පරිසර ඇමති, ජනාධිපතිවරයාට සහ නීතිපතිවරයාට පහත සඳහන් ලිපි භාර දී තිබෙනවා.

එමෙන්ම ජාතික සත්ව උද්‍යාන දෙපාර්තුමේන්තුවට, සංචාරක සහ වනජීවී අමාත්‍යංශයේ ලේකම්වරයාට ද මෙම ලිපි බාර දීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

No photo description available.

ශාලික විමලසේන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here