Home Hit ”මට ජීවිත තර්ජන එල්ලවෙලා තියෙන්නේ ” – ජනපති

”මට ජීවිත තර්ජන එල්ලවෙලා තියෙන්නේ ” – ජනපති

344
0

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ සහ ඊට දෙන නායකත්වය නිසා එය දුර්වල කිරීමට සහ තමන් විනාශ කිරීමට විශාල කුමන්ත‍්‍රණ තිබෙන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඊයේ (02) පොළොන්නරුවේ සිරිපුරදී ප‍්‍රකාශ කර සිටියා.

ඒ මහවැලි ජනපදිකයින් 8000ක් සඳහා ඉඩම් ඔප්පු පිරිනැමීම නිමිත්තෙන් සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උත්සවයකදීයි.

ඒ පිටුපස සිටින්නෙත් වියදම් කරන්නේත් කුඩු ජාවාරම්කාරයින් යැයිද ජනාධිපතිවරයා අනාවරණය කර සිටියා.

මත්ද්‍රව්‍ය මර්දනයේදී මත්කුඩු ජාවාරම් කාරයින්, කුඞ්ඩන් වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලා විශාල වශයෙන් පෙනී සිටින බවයි ජනපතිවරයා සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය විරෝධී සටන අඩපණ කරන්නට විශාල පිරිසක් අද උසාවි යන බව කී ජනාධිපතිවරයා මානව හිමිකම් බාස්ලා හිර ගෙදර ඉන්න මත්කුඩු ජාවාරම්කාරයින් වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගෙන තිබෙන බවද කියා සිටියා.

ආණ්ඩුවයි, විපක්ෂයයි, එන්. ජී. ඕ.යි තවත් සමාජයේ බොහෝ අය විශාල වශයෙන් තමන්ට පහර දෙන්නට පටන්ගෙන තිබෙන බව කී ජනාධිපතිවරයා තමන්ට ජීවිත තර්ජනද එල්ලවී තිබෙන බව ද බුද්ධි අංශ ඒ ගැන වාර්තා කර ඇතැයිද කියා සිටියා.

තමන් ආවේ කවුරුවත් රකින්නට නොව රට රකින්න, ජනතාව රකින්න බව පැවසූ ජනාධිපතිවරයා හොරකම, දූෂණය, වංචාව, නාස්තිය කවුරු කළත් ඊට දඬුවම් ලබාදෙන බවයි පැවසුවේ.

ඉහළ දේශපාලන නායකයින් කෝටි ප‍්‍රකෝටි ගණන් හොරකම්, මංකොල්ල, දූෂණ වංචා කරන විට තමන්ට බලාගෙන ඉන්නට පුළුවන්කමක් නැති බව කී ජනාධිපතිවරයා ඒ සියල්ලටම කොමිෂන් පත්කළ බවද පැවසුවා.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ඊයේ ලැබුණු බව කී ජනාධිපතිවරයා එහි ද හොඳ හොඳ සෙල්ලම් තිබෙන බව පැවසුවා.

හෙට අනිද්දා වන විට ඒ වාර්තාව එළි දක්වන බවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here