Home Hit ඇමති රංජන් උසස් පෙළ විභාගයට සැරසෙයි

ඇමති රංජන් උසස් පෙළ විභාගයට සැරසෙයි

776
0

පළමු වරට 1981 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වසර 38කට පසු එනම් 2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බව හෙළිවනවා.

තමන් 1981 වසරේ අසමත් වූ උසස් පෙළ විභාගය සඳහා මුහුණ දීමට මේ දිනවල සූදානම් වන බවයි ඔහු BBC පුවත් සේවය සමඟ කළ සාකච්ජාවක දී ප්‍රකාශ කර ඇත්තේ.

බීබීසී සිංහල සේවයට රාජ්‍ය අමාත්‍යවරයා හමුවී ඇත්තේ, අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයට මුහුණ දීම සඳහා ඔහු පෞද්ගලික ගුරුවරයෙකු සමග දේශපාලන විද්‍යාව විෂය ගැන උපකාරක පන්තියකට සම්බන්ධ වෙමින් සිටියදීයි.

රන්ජන් රාමනායක

‘අමාත්‍යංශයට උදේ ගිහිල්ලා, පාර්ලිමේන්තුවේ හවස කතා කරලා, රෑට පන්ති යනවා, පාඩම් කරනවා, මේක තමයි මේ දිනවල දින චර්යාව,” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

මම 1979දී සාමාන්‍ය පෙළ විභාගය සමත් වුණේ, D1,C5,S1ක් සහ ලයිට් කණුවක් එක්ක (F අසමත්). 1981දී උසස් පෙළ එක විෂයයි සමත් වුණේ.”

වසර 38කට පසු එදා අසමත් වූ උසස් පෙළ විභාගය නැවත ලිවීමට සිතුණේ ඇයි ද යන්න BBC සිංහල සේවය රන්ජන් රාමනායක අමාත්‍යවරයාට යොමුකළ ප්‍රශ්නයකි.

“මේක හිතුණේ මම කරපු ප්‍රකාශවලට දාලා තියෙන නඩුවලට නීතිය අධ්‍යනය කරද්දී. මට හිතුණා ඇයි මට නීතිවේදියෙක් වෙලා මේ නඩුවලට මුහුණ දෙන්න බැරි කියලා. නීති විභාගය කරන්න උසස් පෙළ ඕනේ, එතකොට හිතුණා උසස් පෙළ කරනවා කියලා, මොක ද තමන් ඉගෙන ගත් තරමට අනිත් අයට අපිව රවට්ටන්න බැරි වෙනවා. මූලික නීතිය වගේ දේවල් නොදැනුවත්ව ගොඩක් අය නිකන් අමාරුවේ වැටෙනවා,” යනුවෙන් ඔහු පිළිතුරු ලබාදී තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ, “මේ විභාගය ෆේල් වුණොත් ආයේ කරනවා, කොහොම හරි උපාධිධාරියෙක් වෙනවාමයි. මට හිනාවෙන අය හිනා වුණදෙන්. මම දිගට ම ඉගෙන ගන්නවා මේ පාර ෆේල් වුණොත් ලබන පාර කරනවා,” යන්නයි.

උසස් පෙළ විභාගයට අමතරව උපාධියක් ලබා ගැනීම සඳහා ද රන්ජන් රාමනායක අමාත්‍යවරයා මේ දිනවල විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර ශිෂ්‍යයෙකු ලෙස ද අධ්‍යාපනය හදාරමින් සිටිනවා.

BBC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here