Home Hit දුම්රිය සේවකයින් යළි වර්ජනයේ – විශ්‍රාමික නිලධාරීන් යළි සේවයට බඳවා ගැනීමට සම්මුඛ...

දුම්රිය සේවකයින් යළි වර්ජනයේ – විශ්‍රාමික නිලධාරීන් යළි සේවයට බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ

301
0

දුම්රිය සේවකයින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනයෙන් මගීන් රැසක් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

දිවයිනේ බොහෝ ප්‍රධාන දුම්රිය ස්ථානවලින් අද (28) අලුයම දුම්රිය ධාවනය නොවූ බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දුම්රියෙන් කාර්යාලයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

වැඩවර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රී ධාවනය කිරීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය කිහිපයක් ද අවලංගු කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට අයත් සේවකයින් මෙම එක්දින වැඩවර්ජනය ආරම්භ කළේ, දුම්රිය සේවයේ පවතින වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙනුයි.

මීට විරෝධය පළ කරමින් පසුගිය බ්‍රහස්පතින්දා දුම්රිය සේවකයින් පැය 48ක වැඩවර්ජනයක ද නිරත වුණා.

වැඩවර්ජනයට දුම්රිය රියැදුරන්, නියාමකයින් පාලකවරුන් ඇතුළු ශ්‍රේණි කිහිපයක සේවකයින් එක් ව සිටියා.

සේවකයින් පැය 24ක මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණ ද දුම්රිය සේවය මේ වනවිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර අවසන්.

ඒ, ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනි.

මේ අතර වර්ජනයට මුහුණදීම සඳහා විශ්‍රාමික නිලධාරීන් දුම්රිය සේවයට යළි බඳවා ගැනීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

මේ යටතේ විශ්‍රාමික එන්ජින් රියැදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන්, සංඥා පරීක්ෂකයින් සහ මාර්ග පරීක්ෂකයින් යළි සේවයට බඳවා ගැනීමට නියමිතයි.

ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ අද පෙරවරුවේ සිට නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී සිදුකෙරෙන අතර ඒ සඳහා පැමිණෙන්නැයි ප්‍රවාහන අමාත්‍යංශය විශ්‍රාමික නිලධාරීන්ට දැනුම් දීමක් ද සිදුකරනු ලැබුවා.

දුම්රිය සේවක වර්ජනයෙන් පීඩාවට පත්වන ජනතාවට උපරිම සේවයක් සැලසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here