Home Hit දුම්රිය වර්ජයනය නිසා මගීන්ට දැඩි දුෂ්කරතා – ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

දුම්රිය වර්ජයනය නිසා මගීන්ට දැඩි දුෂ්කරතා – ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

249
0

දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට අයත් වෘත්තීය සමිති සාමාජිකයින් ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

දුම්රිය සේවකයින් මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කළේ, ශ්‍රේණිවල වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අනුමත වූ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙනුයි.

දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් මෙම වැඩ වර්ජනයට එක්වන බවයි.

ඒ හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනයට නියමිතව තිබූ සියලු තැපැල් දුම්රිය අවලංගු කළ බවත්, තවත් දුම්රිය කිහිපයක ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

මේ අතර අද (21) දිනයේ දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් සොයා බැලීමේදී පෙනී ගියේ දුම්රිය මගීන්ගේ අඩුවක් පවතින බවයි.

අද අලුයම කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානයෙන් කන්කසන්තුරේ දක්වා ධාවනය වන දුම්රිය 5.45ට පිටත් ව ඇති අතර මහනුවර දුම්රිය ස්ථානයෙන් අද අලුයම 4.30, අලුයම 5.00ට කොළඹ බලා පිටත්වීමට තිබූ දුම්රිය ධාවනය කර නැහැ.

එමෙන්ම මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය පාලන මැදිරියට ද මුද්‍රා තබා ඇතැයි ද වාර්තා වනවා.

අද අලුයම 5.00ට මාතරින් කොළඹ බලා ධාවනය වීමට නියමිත සාගරිකා දුම්රිය මද වේලාවක් ප්‍රමාද වී කොළඹ බලා ධාවනය වූ අතර දුම්රිය ප්‍රවේශ පත්‍ර කවුළු හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ කාමර වසා දමා ඇති බැවින් ටිකට් පත් නොමැතිව මගීන් දුම්රියේ ගමන් කළ බව ද වාර්තා වනවා.

මහව සිට කොටුව දක්වා ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය අද අලුයම 5.35ට කුරුණෑගල දුම්රිය ස්ථානයට ළඟා වී තිබෙනවා.

ගාල්ලෙන් මරදාන බලා ධාවනය වන අලුයම 3.40, අලුයම 4.15, අලුයම 5.00 දුම්රි අද ධාවනය නොකළ අතර අලුයම 4.15ට ධාවනය වන දුම්රිය පැයක් ප්‍රමාද වී කොළඹ බලා ධාවනය වූ අතර ගාල්ල දුම්රිය ස්ථානයේ ද නියාමකවරුන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන් රාජකාරී සඳහා වාර්තා කර නැහැ.

මේ අතර දුම්රිය සේවකයින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද දිනයේ මගීන්ගේ දුෂ්කරතා අවම කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති උපාලි මාරසිංහ සඳහන් කළේ, ඊට පහසුකම් සැලසීමට සියලු ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here