Home Local තෙත් කලාපයේ අලියෙකුට ප්‍රථම වරට විද්‍යුත් කරපටියක්

තෙත් කලාපයේ අලියෙකුට ප්‍රථම වරට විද්‍යුත් කරපටියක්

351
0

ලෝක උරුම සිංහරාජ වනය ආශි‍්‍රතව සැරිසරන වල් අලි දෙදෙනාගෙන් එක් අලියෙකුට විද්‍යුත් කරපටි (GSP කොලර්) පැළඳවීමට වනජීවි නිලධාරීන් සමත්වී ඇතැයි කලවාන ජාතික පාරිසරික පදනමේ ප‍්‍රකාශක අශෝක චතුරංග පවසයි.

මෙය සත්‍යයක් බවට ප‍්‍රාදේශීය වනජීවි නිලධාරීන් ද පිළිගනු ලැබුවා.

සිංහරාජයේ සැරිසරන හස්තීන් දෙදෙනෙකු වන අතර එකෙක් ‘පණුකොටා’ ලෙසත් අනෙකා ‘සිංහරාජ’ ලෙසත් ප‍්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලබනවා.

පසුගිය කාලයේ මිනීමරු සිංහරාජ හස්තියා පාදයක බරපතළ ආබාධයක් නිසා ගාට ගාටා ඇවිදින බව දැනගත් පාරිසරික පදනම ඒ පිළිබඳව වනජීවි නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව පසුගිය දින කීපයේදී කලවාන, කජුගස්වත්ත ප‍්‍රදේශයට පැමිණි නිර්වින්දන වෛද්‍යවරයා ඇතුළු වනජීවි නිලධාරීන් අසනීප වී සිටින හස්තියා සොයාගෙන පාදයක ඇති විශාල තුවාලයට ප‍්‍රතිකාර කර තිබෙනවා.

මේ තුවාලයට හේතුව කුමක්දැයි නිශ්චිතව කිව නොහැකි බවත් ඇතැම්විට ලොකු විසරයක් වීමට ඉඩ ඇති බවත් පාරිසරික පදනමේ ප‍්‍රකාශකයා සඳහන් කර සිටියා.

කෙසේ වුවද පසුගිය මාසයේ ‘සිංහරාජ’ හස්තියා ගමන් කළ ප‍්‍රදේශත් අලියාට පෑගුනු කොළරොඩුත් දුගඳ හමන බව ඇතැම්හු පවසා සිටියා.

වනජීවි නිලධාරීන් අලියාට ප‍්‍රතිකාර කරන අතර GPS කරපටියක් හෙවත් විද්‍යුත් කොලරයක් පැළඳවීමට කටයුතු කර තිබෙනවා.

ප‍්‍රදේශවාසීන් පවසන ආකාරයට මේ අසනීප වූ සද්ධන්තයා මිනිස් ජීවිත ගණනාවක්ම බිලිගෙන ඇති අතර පසුගිය කාලයේ පොතුපිටිය කජුගස්වත්ත රජවත්ත ප‍්‍රදේශයේ පැවැත්වූ මහජන හමුවීම්වලදී කළ එක් යෝජනාවක් ලෙස මේ ‘කොලර්’ පැළඳවීම වාර්තාවනවා.

තෙත් කලාපයේ අලියෙකුට කරපටි පැළඳවූ ප‍්‍රථම අවස්ථාව මෙය බවයි අශෝක චතුරංග කියා සිටියේ.

එසේම පණුකොටා නමැති අනෙක් අලියාට ද කඩිනමින් විද්‍යුත් කරපටි පැළඳවීම වනජීවි නිලධාරීන්ගේ බලාපොරොත්තුවයි.

රණසිංහ ආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here