Home Local හදිසි නීති රෙගුලාසි 02කට අභියෝග – මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට

හදිසි නීති රෙගුලාසි 02කට අභියෝග – මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට

238
0

ඉකුත් අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල වීමෙන් පසුව ජාතික ආරක්‍ෂාව සඳහා බව පවසමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව ප‍්‍රකාශයට පත් කරන ලද හදිසි නීතියේ රෙගුලාසි 02කට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02ක් ගොනු කරනු ලැබුවා.

රටේ ජාතික ආරක්‍ෂාව සඳහා රෙගුලාසි පැනවීමේ වරදක් නැති නමුත් ජනාධිපති පැනවූ හදිසි නීති 19 (01) සහ 58 යන රෙගුලාසි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඉන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී හෝ උල්ලංඝනය වීමේ අවදානමක් ඇති බවත් පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් කියා සිටිනවා.

ආරක්‍ෂක අමාත්‍ය ධුරය දරන ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන වෙනුවෙන් නීතිපතිවරයා පෙත්සම්වල 01 වගඋත්තරකරු ලෙස නම් කර ඇති අතර නීතිපතිවරයා ද වෙනම පෙත්සමේ 2 වැනි වගඋත්තරකරු ලෙසද, ආරක්‍ෂක ලේකම් (විශ‍්‍රාමික) ජෙනරාල් ශාන්ත කෝට්ටෙගොඩ මහතා 03 වැනි වගඋත්තරකරු ලෙසද නම් කර තිබෙනවා.

වගඋත්තරකරුවන් උසාවි කැඳවා පෙත්සම් පිළිබඳ සම්පූර්ණ විභාගයක් පවත්වන ලෙසත් විභාගය අවසන් වී තීන්දුවක් ප‍්‍රකාශයට පත් කරන තුරු එම රෙගුලාසි 02 කි‍්‍රයාත්මක වීම අත්හිටුවන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

සමාජ කි‍්‍රයාකරුවකු සහ ‘‘පුරවැසි බලය’’ නමැති සංවිධානයේ කැඳවුම්කරු වන ගාමිණි වියන්ගොඩ සහ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු මෙහි පෙත්සම්කරුවන් ලෙස කටයුතු කරනු ලබනවා.

පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් කියා සිටින්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ විධායකයට පවරා ඇති බලතල අනුව පනවන හදිසි නීති රෙගුලාසි සාධාරණව හා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන පරිදි ඉතා ප‍්‍රවේශමෙන් කි‍්‍රයාත්මක කළ යුතු බවයි.

ඒ බව මීට පෙර අවස්ථා ගණනාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්නා දී ඇති බව පෙත්සම්වල මුලින්ම සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා පැනවූ හදිසි නීතියේ 19 (01) වගන්තියට අනුව පුද්ගලයකු වරදක් කර නොතිබුණත් ඔහුගෙන් රටේ ආරක්‍ෂාවට, සාමය හා අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට බාධාවක් ඇති වනු ඇතැයි පෙනී ගියහොත් ඔහු අත්අඩංගුවට ගෙන මුලින්ම දින 30ක් රඳවාගෙන සිට ඊට පසුව ආරක්‍ෂක ලේකම්ගේ නියෝග මත වසරක කාලසීමාවක් දිගටම රඳවා තබා ගැනීමට 19 වැනි වගන්තිය යටතේ බලය පැවරී තිබෙනවා.

එසේ රඳවාගෙන සිටීමට ගත් තීරණය විමර්ශනයක් කිරීමට හෝ සාධාරණ ද නැද්ද යන්න සොයා බැලීමට අධිකරණයට බලයක් නැති අතර එවැනි පුද්ගලයකුට ඇපයක් පිට නිදහස් කිරීමට අධිකරණයට ඇති අයිතිය හා බලය ද එම රෙගුලාසිය මගින් ඉවත් කර තිබෙනවා.

මෙම රෙගුලාසිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 10, 12(1) 12(2) 12(3) 14(1) සිට එච් දක්වා යන වගන්තිවලට පටැනි වන අතර අධිකරණ බලතලවලට අනිසි ලෙස ඇඟිලි ගැසීමකි.

අත්අඩංගුවේ පසුවන පුද්ගලයෙක් මියගිය විට ඔහුගේ අවසන් කටයුතු එනම් භූමදානය හෝ ආදාහනය උසස් පොලිස් නිලධාරියකුගේ කැමැත්ත අනුව මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමෙන් තොරව සිදුකිරීමට ජනාධිපති පැනවූ 58 (01) සහ (02) හදිසි නීති රෙගුලාසියෙන් ආරක්‍ෂක අංශවලට බලය පවරා තිබෙනවා.

එවැනි බලයක් ආරක්‍ෂක අංශවලට පැවරීමෙන් හදිසි නීති රෙගුලාසි උල්ලංඝනය කරන මෙන්ම බලෙන් පැහැරගෙන විත් රඳවා ගන්නා පුද්ගලයන් කිසිවකු නොදැනුවත්ව හොර රහසේ විනාශ කර දැමිය හැකි වනු ඇති.

රටේ සිදුවන සෑම මරණයක් ගැනම පරීක්‍ෂණයක් පැවැත්වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු අතර මියගිය තැනැත්තාගේ අනන්‍යතාවය හෙළි විය යුතුය.

ජාතික ආරක්‍ෂාව සඳහා කරන සෑම දෙයක්ම සාධාරණව ඒ අරමුණ පෙරදැරි කරගෙනම කිරීමට වගබලාගත යුතු යැයි එම පෙත්සම්වල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සරත් ධර්මසේන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here