Home Hit ‘‘ධර්මය ප‍්‍රචාරය කිරීම සඳහා ඝාතනය නොකරන එකම ආගම බුද්ධ ධර්මයයි’’ – අමාත්‍ය...

‘‘ධර්මය ප‍්‍රචාරය කිරීම සඳහා ඝාතනය නොකරන එකම ආගම බුද්ධ ධර්මයයි’’ – අමාත්‍ය පාඨලී චම්පික

287
0

අපේ ශිෂ්ඨ සම්පන්න භාවයේ බලගතු සළකුණ හෙළ බස බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 200ක් වැය කර පූර්ණ ප‍්‍රතිසංස්කරණය කරනු ලැබූ මහනුවර ශ‍්‍රී නාථ දේවාලය බැතිමතුන්ගේ පුද සත්කාරය සඳහා නැවත විවෘත කළ අවස්ථාවට එක් වෙමිනුයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”මේ ශිෂ්ඨාචාරයේ බුද්ධ ධර්මය බලවත්ව ගමන් කරන අවස්ථාවේදී ලෝකයේ උසම ගොඩනැගිලි, රුවන්වැලි සෑය, අභයගිරිය තිබුණේ මේ රටේ. අද ඩුබායි රටට ගියහම, තායිවානයට ගියහම, චීනයට ගියහම, ඇමරිකා එක්සත් ජනපදයට ගියහම තමයි ලෝකයේ උසම ගොඩනැගිලි දැක ගන්න තිබෙන්නේ. නමුත් වසර 2,000කට පෙර මේ ලෝකයේ උසම ගොඩනැගිලි තිබුණේ, ලෝකයේ විශාලතම වාරි කර්මාන්ත තිබුණේ අපේ රටේ. ඒවගේම නිෂ්චිත භාෂාවක් අපි ගොඩගනගා ගත්තේ මේ රට තුළ. සමහරු අහනවා සිංහලයින්ගේ තිබෙන විශේෂත්වය මොකද්ද කියලා. මේ අන්‍ය ජාතිකයනුත් ඉන්නවනේ කියලා. ඒ සියළු ජනතාවට පුරවැසියන් හැටියට සමාන අයිතීන් තිබෙනවා. ඒක ව්‍යවස්ථාවෙත් ලියලා තිබෙනවා. අපේ හදවතෙත් ලියලා තිබෙනවා. මේ සමාජයේ පිළිඅරගෙන තිබෙනවා. ඕනෙම භාෂාවක් කතාකරන ඕනෙම අයෙකුට තැනක පදිංචි වෙන්න, ඕනෙ තැනක නීත්‍යානුකූලව රැකියාවක් කරන්න, අධ්‍යාපනය ලබන්න, සෞඛ්‍ය ලබන්න, ඡන්දය පාවිච්චි කරන්න, දේශපාලන බලය ලබාගන්න, සංවිධානය වෙන්න ඒ සෑම ජන කණ්ඩායමකටම අයිතිය තිබෙනවා.

හැබැයි මේ රට තුළින් බිහි වූ එකම බස සිංහල බස පමණයි. අන්‍ය භාෂාවන් එකක්වත් මේ රට තුළින් බිහි වූ ඒවා නෙමෙයි. ඒ විතරක් නෙමෙයි මේ බස අද ලෝකයේ තිබෙන භාෂා 6,000ක ආසන්න ප‍්‍රමාණයෙන් අක්ෂර වින්‍යාසය පැත්තෙන් ගත්තහම පැරණිම බස. ඒ වගේම කිසියම් රටක, අඛණ්ඩව එක දිගට වසර 3,000 ක් කතා කරගෙන ආපු එකම බසත් සිංහල බස පමණයි මේ භාෂා 6,000 න්. ඒ නිසා මේ බස සුවිශේෂයි. මේ බස අපේ ශිෂ්ඨාචාරයයි. මේ බස තමයි අපේ ශිෂ්ඨ සම්පන්න භාවයේ බලගතු ලකුණ. ලෝකයේ බලගතු ජාතීන් යැයි කියන විශාල රටවල්, චීනය, ජපානය මේ හැම රටේම අකුරක් තිබෙනවා වචනයකට.

අපට අපේ මුතුන් මිත්තන් විධිමත් බසක් වසර දෙදහකට තුන්දහක පෙර සිට හැදුවා විතරක් නෙමෙයි, විධිමත් සාහිත්‍යයක් ගොඩනැගුවා. ඒ වගේම අපගේ ඉතිහාසය අපි පොතක ලිව්වා. එය තමයි මහා වංශය. ඇත්තම කිව්වොත් ඉන්දියාවේ අශෝක නමැති රජෙක් ජීවත් වුනා යැයි කියලා ඉංගී‍්‍රසින් දැන ගත්තේ ගයිගර් මහතා විසින් මහා වංශය පරිවර්ථනය කළාට පසුව. එතකං අශෝක නමැති රජ කෙනෙක්, රජ පරම්පරාවක් ඉන්දියාවේ සිටියා කියා ඉංග‍්‍රීසින් දැන සිටියේ නැහැ. අපේ මේ කෘතිය ගයිගර් මහතා පරිවර්ථනය කළාට පසුව තමයි එය දැන ගනු ලැබුවේ. එම කෘතිය පරෙස්සම් කරනු ලැබුවේ අපේ ස්වාමීන් වහන්සේලා විසින්. පන්සල්වල තිබිලා තමයි එම කෘතියේ පිටපත්, විශේෂයෙන්ම මුල්ගිරිගල විහාරයේ මහා වංශයේ ඉතිහාසය අප ලියා තිබෙන්නේ. එවැනි අතීතයකට උරුමකම් කියන එකම ජාතියයි ඉන්නේ යුද්දෙව්වන්. ඔවුන්ගේ ඉතිහාස පොත තමයි බයිබලය. පළමු ගිවිසුම. ඒ නිසා අපි ආඩම්බර විය යුතුයි, හැබැයි කාටවත් පහරදීලා, කෑ ගහලා, දඬුවම් කරලා නෙමෙයි.

ඒ වගේම අපේ බෞද්ධයෝ, ඒ බෞද්ධ ධර්මය, මේ රට තුළ ලේඛන ගත කරලා ලෝකයට ලබාදුන්නේ අපි. ඒ නිසා ලෝකය ලබාදීපු ප‍්‍රධාන දායාදය ථේරවාදී බුදු දහම. ඒ වගේම ඒ බෞද්ධ දර්ශනයත් සමග ගොඩනැගිච්ච අවිහිංසාවාදය. අපගේ ගාථා පාඨ 17000කට අධික ප‍්‍රමාණයක් තිබෙනවා කිසිම තැනක අන් අයට, අන් සත්වයින්ට අන් ගහකොළටවත් හිංසා කරන්නෙයි කියලා කියන්න පුළුවන් එකම අකුරක්වත්, වචනයක්වත් හොයා ගන්න නැහැ. නමුත් අද ලෝකයේ ආගමික ගැටුම් ඇතිවෙලා තිබෙන්නේ මොකද? විවිධ ආගමික ග‍්‍රන්ථවල තිබෙනවා, අන්‍ය ආගමිකයින්ව මරන්න, වෛර කරන්න, විනාශ කරන්න කියලා. මෙවැනි දෙයක් නැති එකම ධර්මයත්, ධර්මය ප‍්‍රචාරය කිරීම සඳහා ඝාතනය නොකළ එකම ආගම බුද්ධ ධර්මය අදහන අපි විතරයි. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ බුදුදහම ආරක්‍ෂා කරන්න ඕනේ. ඒ මත ගොඩනැගිච්ච ජල තාක්ෂණය, ඒ වගේම වාස්තු විද්‍යා තාක්ෂණය ආරක්‍ෂා කිරීම අපගේ වගකීමයි” යනුවෙන් ද සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here