Home Hit දේශපාලන ‘‘ඔළුබක්කන්’’ වෙනුවට නව පන්නරයකින් දේශපාලන ඇරඹුමක්

දේශපාලන ‘‘ඔළුබක්කන්’’ වෙනුවට නව පන්නරයකින් දේශපාලන ඇරඹුමක්

364
0

ලංකාව මේ වන විට තියුණු දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටී. මාක්ස්වාදී ඉගැන්වීම්වලට අනුව ධනවාදයේ අර්බුදය ආරම්භ වන්නේ ආර්ථික අර්බුදයෙනි. මෙම ආර්ථික අර්බුදය පසුව සමාජ අර්බුදයක් දක්වා වර්ධනය වී අවසානයේ දේශපාලන අර්බුදයක් බවට පත්වේ. එය නොවිසඳී දිගු කලක් පවතින්නේ නම් ඉන් හැඟවෙන්නේ ලාංකේය ධනවාදය සමාජ ක්‍රමයක් ලෙස එහි අවසානයට ළඟාවෙමින් තිබෙන බවය. දේශපාලන පක්ෂවල අර්බුදයක් හා අසාර්ථකවීම්ද එම හිඩැස පිරිවීමට දේශපාලන ඔළුබක්කන් වේදිකා මතට පැමිණීමට දරන උත්සාහයන්ද මේ දිනවල අප දකින්නේ මේ අනුවය.

ලංකාවේ මීට පෙරද, විටින් විට දේශපාලන අර්බුද මතුව තිබේ. එහෙත් වත්මන් දේශපාලන අර්බුදය පෙර ඒවාට වඩා වෙනස් එක දිගට පවතින එකකි. මෙම අර්බුදයේ මූලය තිබෙන්නේ, ලංකාවේ ඡන්දදායකයාට පැවති ධනපති පක්ෂ දෙකම ක්‍රමානුකූලව එපා වෙමින් තිබීම තුළය. ඒ නිසා පසුගිය මැතිවරණවලදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලැබුණේ නැත. එහි ප්‍රතිඵලය වූයේ දුර්වල ආණ්ඩුවක් බිහිවීමය. එක් අතකින් ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් වීමත් අනෙක් අතින් ජනාධිපතිවරයා වෙනත් පක්ෂයක (ශ්‍රී.ල.නි.ප.) නායකයා වීම හා එ.ජා.ප.ය සමග ප්‍රතිවිරෝධයක සිටීමත් නිසා ආණ්ඩුව ‘ආණ්ඩු බලයක්’ ලෙස ක්‍රියාත්මක වන්නේ නැත. ආණ්ඩුව පෙරළීමට විපක්ෂය උත්සාහ කරද්දී පසුගිය 2019 ඔක්තෝබරයේ ආණ්ඩුව පෙරළීමට කළ කුමන්ත්‍රණයේ මෙහෙයුම්කරු වූයේ ජනාධිපතිවරයාය. එම කුමන්ත්‍රණය පරාජය වුවද ඉන්පසු ආණ්ඩු ක්‍රියාකාරිත්වය දුර්වලව පවතී.

පසුගිය අප්‍රේල් 21 මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබියදී එය වළක්වා ගැනීමට නොහැකි වූයේද ආණ්ඩුව ‘ආණ්ඩුවක්’ ලෙස කටයුතු නොකළ නිසාය. දැනුදු ආණ්ඩුව රට පාලනය කරන්නේ නැත. ඒ නිසා හැමදෙනාම ප්‍රකාශකයෝ වී සිටිති. තමන්ට අයිති වැඩ මෙන්ම බොහෝ දෙනා අයිති නැති වැඩම කරති. ජනාධිපති එක් මතයක් දරන විට අගමැති වෙනත් මතයක් දරයි. ඇමතිවරු තම තමනට අවශ්‍ය දේ ප්‍රසිද්ධියේ පවසති. ‘ආණ්ඩුවේ මතය’ නමින් මතයක් හෝ එය ප්‍රකාශ කරන්නේ නැත. දැන් හමුදාපතිවරයාද මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදෙයි.

ඒ අතර දේශපාලන අරමුණු වෙනුවෙන් තම ජනමාධ්‍ය හසුරුවන ජනමාධ්‍ය අයිතිකරුවෝද තම තමන්ගේ න්‍යාය පත්‍රවලට අනුව විවිධ ප්‍රවෘත්ති නිර්මාණය කරති; විග්‍රහ කරති. වැරදි තොරතුරු ජනතාව වෙත සම්ප්‍රේෂණය කරති. ඒවා නිවැරදි කිරීමට හෝ ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීමට ආණ්ඩුවක් නැත. ඒ නිසා ‘ලූලා නැතිවලට කණයා පණ්ඩිතයා’ කීවා සේ හැමදෙනාම තම තමන්ගේ සීමා ඉක්මවා කටයුතු කරති. ආණ්ඩුව ආණ්ඩු කිරීම හැර අන් හැමදේම කරයි. රට අරාජික වී තිබේ. සමහර විට ආගමික නායකයන් ආණ්ඩුවට ඉදිරියෙන් සිටින අවස්ථාද තිබේ. මේ ආණ්ඩුවේ අර්බුදය ප්‍රකාශයට පත්වෙන හැටිය.

ඒ අතර දේශපාලන පක්ෂද අර්බුදයට ගොස් තිබේ. එ.ජා.ප.ය රනිල්ගේ නායකත්වය තුළ දිරාපත් වෙමින් තිබේ. එහෙත් ඔවුනට ඒ වෙනුවට බලපෑමක් කළ හැකි අනුහස් සහිත නායකයෙක් නැත. සජිත්ගෙන් සෑහීමකට පත්වීමට සිදුව තිබෙන්නේ ඒ නිසාය. පසුගිය දිනවල එ.ජා.ප. ප්‍රබලයන් කිහිපදෙනෙක් එක්වී නායකත්වයෙන් ඉවත්වන ලෙස රනිල්ගෙන් ඉල්ලීමට තීරණයක් ගත් බවද වාර්තා විය. ඉදිරි ජනාධිපතිවරණය එන්නේ නම්, එවිටද එ.ජා.ප. ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ප්‍රශ්නය යළි මතුවනු ඇත. 2010, 2015 ජනාධිපතිවරණ දෙකම රනිල් මඟහැර ගියේ පොදු අපේක්ෂකයන්ගේ පිහිටෙනි. එහෙත් මෙවර එවැන්නක් පහසු නැත. එ.ජා.ප.ය මේ වන විට බිම් මට්ටමෙන්ද අක්‍රියව පවතී. ඒ අනුව ලංකාවේ පැරණිම ධනපති පක්ෂය දැන් පසුවන්නේ දුබල වෙමිනි.

අනෙක් අතට ශ්‍රීල.නි.ප.යද දෙකඩ වී තිබේ. කොටස කුඩා වුවත් මෛත්‍රී ශ්‍රීල.නි.ප. නායකත්වය තමා වෙත තබාගෙන සිටී. මෛත්‍රීගේ ඉදිරි දේශපාලන ගමනද අපැහැදිලිය. ඔහුට යළි බලය ගැනීමට පේනතෙක් මානයක ඉඩක් හෝ හැකියාවක් නැත. දැනට පොදු ජන පක්ෂය ලෙස කටයුතු කරන මහින්ද පිල තුළද ගැටලු පවතී.

එක් අතකින් බලය ලබා ගැනීමට යයි කියමින් පසුගිය කාලය පුරා මහින්ද කණ්ඩායම සිදුකළ සියලු ක්‍රියා (පාගමන්, රැලි, කොළඹ වටලෑම ආදී) ප්‍රතිඵලයක් නැතිවම අවසන් විය. පසුගිය ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන්ද මහින්ද පරාජය වූයේ අපකීර්තියක්ද ලබාගනිමිනි. දැන් ඉදිරි ජනාධිපතිවරණය පදනම් කරගෙන ඒ තුළද ගැටලු මතුව තිබේ. ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට මහින්දට නොහැක. මහින්ද කැමති වෙනත් කෙනෙක්ද නැත. ඒ නාමල්ට වයස මදි නිසාවෙනි. ගෝඨාභය ගෙන ඒමට පිරිසක් උත්සාහ කළත් මහින්ද තවමත් එය නිල ලෙස පිළිගන්නේ නැත. මීළඟට බලය ගැනීමට සැරසෙන ඔවුන්ට ජනාධිපතිවරණයට මාස 4ක් පමණක් තිබියෙදීත් තවමත් අපේක්ෂකයෙක් නම්කර ගැනීමට නොහැකිවීම ඔවුන් මුහුණපා සිටින අර්බුදයේ ප්‍රමාණය පෙන්වයි.

මෙම සියලු සාධකත්, වසර 71ක් තිස්සේ මාරුවෙන් මාරුවට ආණ්ඩු පිහිටුවා අසාර්ථක වීම නිසා සමාජය තුළ ඇතිකර තිබෙන මතයන් නිසා, දැන් ක්‍රමානුකූලව පැරණි පක්ෂ අභාවයට යමින් තිබෙන තත්වයන් මතුව තිබේ. මේ නිසා එක් අතකින් පක්ෂ වෙනුවට පුද්ගලයන් ඉස්මතු වීමත්, පුද්ගල චරිත කෙරේ විශ්වාස තැබීමේ ප්‍රවණතාවයකුත් සමාජය තුළ මතුව තිබේ. අනෙක් අතට එහිම දිගුවක් ලෙස ප්‍රධාන පක්ෂ දෙකට පිටින් විකල්ප පුද්ගල චරිත මතුවීමේ ප්‍රවණතාවයක්ද මතුව තිබේ. ඉන් කියැවෙන්නේ ද ලංකාවේ සම්ප්‍රදායික දේශපාලනයේ අවසානයට පැමිණෙමින් තිබෙන බවය.

ලංකාවේ ධනපති ක්‍රමයත් ධනේශ්වර පක්ෂත් අර්බුදයට යාම නිසා හා එම පක්ෂවල සමාජමය බලපෑම අඩුවීම නිසා සමාජය තුළ වම මූලිකකරගත් විකල්ප බලවේගයකට අවස්ථාව විවර වෙමින් තිබේ. එහෙත් ධනේශ්වර ක්‍රමය, ධනේශ්වර බලවේග හා සමාජය තුළ පවතින ධනේශ්වර චින්තනය ඊට කැමති නැත. ඒ නිසා සම්ප්‍රදායික ධනපති දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප වනවිට එම ස්ථානය ගැනීම සඳහා විවිධ වර්ගයේ පුද්ගල චරිත මතුකිරීමට සමහරු උත්සාහ දරති. එම චරිතද තමන්ම මතුවීමටද උත්සාහ දරති. පසුගිය කාලයේ මතුවූ විවිධ පුද්ගල චරිතවලින් කියැවෙන්නේ එයයි. මේ වන විට මේ චරිත අතරට චම්පික රණවකද එක්වීමට උත්සාහ කරමින් සිටියි.

සංකීර්ණ සමාජ අර්බුද විසඳීමට තනි පුද්ගල චරිතවලට නොහැක. එවැනි දේ දැකිය හැක්කේ සිනමා පටවලය. තථ්‍ය ලෝකයේ එවැනි දේ කළ නොහැක. අර්බුදයට පත් ලාංකේය සමාජය විසින් දැන් සැබැවින්ම ඉල්ලා සිටින්නේ ප්‍රගතිශීලී වෙනසකි; සමාජවාදය දෙසට වන වෙනසකි. එය ප්‍රමාදවීම විසින් සිදුකරන්නේ ජනතා පීඩනය ජාතිවාදී හෝ ආගමික අන්තවාදී අන්තයන්ගෙන් පුපුරා යාමය. ජාතිවාදය, අන්තවාදය ක්ෂණිකව සේවය කරන්නේ ධනපති පක්ෂවලටය. ඔවුන් ජාතිවාදය අවුළුවන්නේද ඒ සඳහාමය. එහෙත් සමාජ දේහයේ ගැඹුරේ ඇති තියුණු අර්බුදයට ඒවා පිළියම් නොව, එම අර්බුදය තව තවත් තීව්‍ර කරන සාධකය. එබැවින් දැන් ලාංකේය දේශපාලනයේ සැබෑ හිඩැස ඇත්තේ වම මූලික කරගත් ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්‍රවාදී මහජන ව්‍යපාරයක් සඳහාය. එය ගොඩනැගෙන තුරු ඒ වෙනුවට විවිධ ඔළුබක්කන් කරළියට එනු ඇත. තනි තනි ‘ඔළුබක්කන්’ රංගනය නිමා කළ හැක්කේද ප්‍රබල මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමෙනි. මේ මොහොතේ වමේ ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්‍රවාදී, මානවවාදී, ජාතිවාද විරෝධී සැමගේ වගකීම එම පුළුල් ජනතා ව්‍යාපාරය ගොඩනැගීමට වහ වහා කටයුතු කිරීමය, ඊට දායකවීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here