Home Business දෑස් නොපෙනී ත් ලෝකය දුටුව ගැහැණිය; ආශ්වර්‍යා පීරිස්

දෑස් නොපෙනී ත් ලෝකය දුටුව ගැහැණිය; ආශ්වර්‍යා පීරිස්

1646
0

ඇය අති දක්ෂ මෝස්තර නිර්මාණ ශිල්පිනියක්. දෑස් නොපෙනෙද්දි ඇය මෝස්තර නිර්මාණ ශිල්පිනියක් උනේ කෝමද? ඇය පාට තෝරන්නේ කෝමද? ඇය ඩිසයින් අදින්නේ කෝමද? ඔබට දහසකුත් ප්‍රශ්න ඇති ඒ ගැන. මොහොතක් සිතන්න. ඇය අද ඉතා ප්‍රසිද්ද මෝස්තර නිර්මාණ ශිල්පිනියක්. ඇය උපතින් ම දෑස් නොපෙනීමට ලක් උන කෙනෙක් නෙවෙයි. ඇය මේරටේ කුරිරු  ත්‍රස්තවාදයේ තවත් එක් බිල්ලක්. ඔව් ඇය ආශ්චර්‍යා පීරිස්. වචනයේ පරිසමාප්ත අර්තයෙන් ම ඇය ආශ්ච්‍ර්‍යක්.

ජීවිතේ නව යෞවන වියේ පසු උන ඇයට බෝම්බයක් නිසා දෑස අහිමි උනේ කෝමද?

එතකොට මම බොහොම තරුණයි. මම බොහොම ආඩම්බරයෙන් හිටියෙ සතුටින් පිරුණු මගේ ජීවිතේ ගැන. ඒ කාලෙ මම බැංකු නිළධාරිනියක් හැටියට උසස් මට්ටමේ රැකියාවක් කළේ. අහඹු සිදුවීමක් නිසා එදා මම ටිකක් වේලපහින් ගෙදර එන්න පිටත් වුණා. මගේ මෝටර් රථයේ තවත් මිතුරන් දෙනෙක් හිටියා. මට ලොකු බඩගින්නක් දැණුනු නිසා මොනව හරි කන්න කීප තැනක ම නවත්වන්න උත්සාහ කළත් අවිනිශ්චිත හේතු නිසා එය කීපවරක් ම වැළකී ගියා. ඒ වෙනකොට අපි හිටියෙ කාසල් රෝහලට මදක් 
රාජගිරිය පැත්තට වෙන්න.

 මහා හඩක් සමග සියල්ල නො පෙනී ගියා. වරින් වර සිහිය මා වෙත ඇවිත් ගියත් මම හිටියෙ අසිහියෙන් එළියට පනින්න කියලා කවුරු හරි කෑ ගහනව මට මතකයි. ඒත් මගේ සිරුර මුලූ‍මනින් ම අප්‍රානික වෙලා තිබුණේ. මම ත්‍රස්තවාදී බෝම්බයකට අහුවෙලා කියලා දැන ගත්තෙ දින තුනකට පස්සෙ සිහිය ආවට පස්සෙ. බොහොම අසාධ්‍ය වෙලා තිබුණු මගේ දකුණු කකුල ගැන හැමෝම කතා කරන කොට මට බය හිතුණා, මට ආයෙ කවදාවත් හොඳට ඇවිදින්න බැරි වෙයි කියලා. ඒත් බොහොම කාලයක් යනතුරු ම දැනගෙන හිටියෙ නැහැ ඒ වෙනකොට මම සදාකාලිකව ම අන්ධ වෙලා කියලා.

ඇය තවමත් අභිමානයෙන් නැඟී සිටී. ඕනෑ ම කෙනෙකු වසඟ කරන්න සමත් තමන් සතු රූපකාය වියපත් බව පරදවමින් තවමත් ඈ ලඟ ගැවසේ. පැහැදිළිව ම ඈ වෙත පරාජිත බවක සේයාවක් හෝ දැකගත නො හැක.

දෑස අන්ද උනත් ඇයට මේ තරම් පෞර්ෂයක් කොහෙන්ද?

අපේ තාත්තට හොඳට සල්ලි තිබුණා. අම්මට බොහොම ලස්සන රූපයක් තිබුණා. ඒත් ඒත් බිය වැද්දීම්, සැරපරුෂ බව, බලහත්කාරය අපේ ගෙදර පිරිලා තිබුණෙ. අම්මා මගේ හදහන බලපු වෙලාවක ඒකෙ කියලා තිබුණා මම හොඳ කලාකාරියක් වෙනවා කියලා. ඒකට බය වෙලා ඒ ගොල්ලො මගේ චිත්‍ර පන්තිය නැවැත්තුවා. මගේ පියානෝ පුහුණුවීම් නතර කරලා දැම්මා. මගේ පුංචි කාලෙ මම සෙනෙහස, සතුට දැක්කේ හොඳ ගැමියෙකු වුණ මගේ සීයගෙන් සහ ආච්චිගෙන්. මා තුළ සංවේදි කම, නොසැලෙන සුලූ‍ බව, ධෛර්ය සම්පන්න බව ගොඩනැගුණෙ මේ ආදරය හා අනාදරය අතර ජීවිතය නිසා. දෙමාපියන්ගෙ අපේක්ෂාවන් සපුරාලන්න මම අපරාජිතව ඉදිරියට ගියා. ඒත් මේ සිදුවීම්වලින් පස්සේ ඔවුනුත් මා ගැන බලාපොරොත්තු අතහැර දැම්මා. මට ඇත්තට ම මං වෙන්න පුළුවන් වුණේ ඊට පස්සෙ. මා තුළ සැඟවිලා හිටිය කලාකාරියට මම නැගිටින්න ඉඩ දුන්නා. මම සම්පූර්ණයෙන් ම අන්ධවෙලා වසර 18 ක් ගෙවුණත් වර්ණ, හැඩතල, පිලිවෙල මේ හැම දෙයක් ම මට හොඳට මතක යි. මම මෝස්තර නිර්මාණයට පිවිසෙන්නේ මේ තත්වය යටතේ.

මේ වෘත්තිය ඇයට කෙතරම් ගැලපෙනවද? ඇස් නො පෙනෙන කෙනෙක් කොහොම ද අලූ‍තින් මෝස්තර නිර්මාණය කරන්නෙ?

මට ඇස් නො පෙනෙනවා විතරක් නෙවේ. ඒ අනතුරෙන් පස්සෙ මට ගඳ සුවඳ දැනෙන්නෙත් නැතිව ගියා. මම ළගදි වෙනත් ශිල්පිනියකගේ මෝස්තර නිර්මාණ දැක්මකට ගියා. මම හඩින් සහ ස්පර්ෂයෙන් විතරයි ඒක දැක්කෙ. මේ නිසා මට කිසි විටෙකත් කාගෙවත් නිර්මාණ හා වර්ණ අනුකරණය කරන්න බැහැ. හැම නිර්මාණයක් ම බිහි වෙන්නෙ මගේ හදවත ඇතුලෙන් ම යි. අනිත් අය කඩදාසිවල මක මකා අදින හැඩතල මමත් ඒ විදිහට මගේ හිතේ මක මකා අදිනවා. හිතෙන් වර්ණ සංයෝජනය කරනවා. මේ නිසා මට හැම හැඩතලයක් ගැන ම, හැම වර්ණයක් ගැන ම වැඩි අවධානයකින් හිතන්න සිද්ධ වෙනවා. මේ නිසා මගේ මෝස්තරවල, වර්ණවල විශේෂතාවක් තියෙනවා කියලා බොහෝ දෙනා කියනවා මම අහලා තියෙනවා. 2014 අවුරුද්දෙ හොඳ ම නිර්මාණාත්මක නව්‍යකරණය මෝස්තර නිර්මාණය වෙනුවෙන් සම්මානය ලැබුණෙත් ඒ නිසා වෙන්න ඇති.

ඇය තමන් දෙස අනුකම්පා සහගත ව බැලීම රුස්සන්නේ නැත. ද්‍රශ්‍යාබාධිත යන හැඳින්වීමටත් ඇය අකැමැති ය. මේ නිසා මෙම ලිපියේ අප ඇය හඳුන්වන්නේ ඇස් නො පෙනෙන මෝස්තර නිර්මාණ ශිල්පිනිය ලෙස යි. ඇස් නො පෙනෙන ඇය කොහොමද මෝස්තර නිර්මාණය කරන්නේ?, ඇය කොහොමද වර්ණ තෝරන්නෙ?, මෙය ඔබට වගේ ම මටත් ඇති වුණු ගැටළුවක්.

මට දැන් මගේ සිතිවිලි හොදින් තේරුම් ගන්න පුලූ‍වන් හොඳ වැඩ කණ්ඩායමක් ඉන්නවා. මුලින් ම මම මේ ක්ෂේත්‍රයට පිවිසෙන කොට මා ලඟ හිටියෙ දේවිබාලිකා විදුහලේ ඉගෙන ගන්නා කාලෙ ඉදල මගේ සමීපත ම මිතුරිය ඩයනා යි. මම එයාට කතා කරන්නෙ ඩයි කියලා. මගේ නමෙත් ඩයනා කියලා කොටසක් තියෙනවා. අපි ඒ කාලෙ විහිලූ‍වට කිය කියා හිටියෙ ලොකු වුණා ම ඩයි ඇන්ඩ් ඩයි කියලා බිස්නස් එකක් පටන් ගනිමු කියලා. ඇත්තට ම මම මෝස්තර නිර්මාණකරණයට ආවෙ ඩයනගෙ ඇස් දෙකෙන්. එහෙත් ඇය වෙන රටක පදිංචියට යෑමට තීරණය කෙරුවා. මේ වෙනකොට මගෙ ඇස් දෙක වෙලා තියෙන්නෙ මගෙ ආදරŒය සැමියා චන්දන ජයකොඩි. කාලයක් එකට ජීවත් වුණ නිසා මම හිතන හැටි, මම කියන දේ වඩා නිරවුල් ආකාරයෙන් ඔහු තේරුම් ගන්නවා. කාර්ය බහුල ජීවිතයක් ගත කරන නිසා ඔහුට මගේ කටයුතුවලට කැපවෙන්න බැරි අවස්ථාත් තියෙනවා. ඔහු නැති වෙලාවට මම රෙදි ගන්න ගියා ම ඒ වෙළඳ සැල්වල ඉන්න කීපදෙනෙක් ගෙන්නලා ඒ ඒ අයගෙන් වෙන වෙන ම අහලා තමයි මම අවශ්‍ය වර්ණය නිවැරදි ව තෝරා ගන්නෙ. සාමාන්‍යයෙන් මම හුරුපුරුදු නැති තැන්වලින් රෙදි හා ආභරණ මිලට ගන්න යන්නෙ නැත්තෙ මේ අපහසුව නිසා. මගේ වර්ණ පරාසය බොහොම පුලූ‍ල්. දම් පැහැය කිව්වහම දම් පාට මානෙල් මලේ පෙත්තක් ගත්තත් එහි අග, මැද, දාරවල වෙනස් දම් පැහැයන් තියෙන්නෙ. ස්වභාදහමේ වර්ණ බොහෝ විට නිශ්චිත යි. මේ නිසා මට අවශ්‍ය වර්ණය කියාගන්න මම මේ ක්‍රමය යොදා ගන්නනවා. හිතේ සංයෝජනය කරලා බොහොම අමාරුවෙන් නිශ්චිතව ම හොයා ගන්නා එම වර්ණයේ පැන්තම් අංකය හොයාගෙන ඊට පස්සෙ එම වර්ණය තෝරා ගැනීම තවත් ක්‍රමයක්. ඊට පස්සෙ සිතින් පැන්තම් අංක වෙනස් කර කර වෙනස් වර්ණ හිතේ නිර්මාණය කර ගන්නවා. මීට අමතර ව වර්ණ නිවැරදිව හදුනා ගැනීමට සමත් නවීන දුරකතන සඳහා එන ඇප් වර්ගත් මම භාවිතා කරනවා. මම හිතන්නෙ මම වැඩියෙන් ම පාට හඳුනාගන්න පටන් ගත්තෙ ඇස් පෙනීම නැතිව ගියාට පස්සෙ.

මම බෝම්ඛෙට අහුවෙලා රෝහලේ ඉන්න කාලෙ තිබුණු ලොකු ම ප්‍රශ්නෙ මගෙ ඩැමේජ් වුණු කකුල සනීප කරගන්න පුළුවන් වෙයි ද කියලා. වෛද්‍යවරුන්ටත් ඒ ගැන ඒ තරම් විශ්වාසයක් තිබුණෙ නැහැ. මම හිතුවෙ ඇස්වලට ප්ලාස්ටර් දාලා තිබුණෙ ඇස් වටේ ට තිබුණු තුවාල නිසා විතරයි කියලා. අන්තිමට මගේ කකුල සනීප වුණා. ඊට පස්සෙ මම ඇස් ගැන ඇහුවහම හැමෝම කිව්වෙ තව ටික දවසක් යද්දි ඇස් සනීප වෙයි කියලා. අවුරුදු 18 ක් තිස්සෙ තාමත් මම බලාගෙන ඉන්නවා කවද හරි මට ඇස් පේන්න පටන් ගනියි කියලා. එදාට මම මෙතෙක් කරපු මේ නිර්මාණ බලන්න මගෙ ඇස් දෙකෙන් බලන්න පුළුවන් ……

ඇය අතකින් මුහුණ වසා ගත්තා. ඇය හිස එසෙව්වෙ විනාඩි කීපයකට පස්සෙ. ඇස් වටා තෙතමෙනයක් තිබුණත් දෑස් පියවුණු මුහුණේ තිබුණේ නොසැලෙන ධෛර්යයක් හා අභිමානයක්.

කැලූ‍ම් කුමාර මොහොට්ටිගේ සමග ඇය කළ සකච්චාවක් ඇසුරිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here