Home Hit ශ්‍රිලනිප මන්ත්‍රීවරයෙකුගෙන් ග්‍රාම නිලධාරීවරයෙකුට තර්ජන

ශ්‍රිලනිප මන්ත්‍රීවරයෙකුගෙන් ග්‍රාම නිලධාරීවරයෙකුට තර්ජන

272
0

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  නබඩගහවත්ත  ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරීවරයාට සිය රාජකාරි කටයුතු ඉටු කිරීමට නොහැකි වන ආකාරයෙන් බාධා එල්ල කරන බව පවසමින් ගලේවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකුට විරුද්ධව ග්‍රාම නිලධාරිවරයෙකු ගලේවෙල පොලීසියට පැමිණිලි කොට තිබේ.

මෙසේ ගලේවෙල පොලීසියට පැමිණිලි කොට ඇත්තේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නබඩ ගහවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වයි. එම්. ඩබ්ලිව්. ධර්මවර්ධන බණ්ඩාර මහතා විසිනි.

ඔහු පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ නබඩගහවත්ත ග්‍රාම නිලධාරී වසමේ පදිංචිකරුවන්ගේ තොරතුරු පත්‍රිකාවක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් ඉල්ලා තිබෙන බැවින් තමන් ස්වෙච්ඡා සංවිධාන ප්‍රධානීන් සහ මුස්ලිම් පල්ලිය ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ නිලධාරීන් හරහා වසමේ සියලු දෙනාට රැස්වීමක්  කැඳවූ බවත් එසේ රැස්වීම කැඳවීම ගිය අවස්ථාවේදී තමන්ට බාධා කරමින්  බැණවැදී රාජකාරියට බාධා එල්ල කළ බවය.

ග්‍රාම නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉමිතියාස් මොහොමඩ් ගවුස් නැමැති පුද්ගලයෙකු සහ තවත් කිහිප දෙනෙකු පැමිණ මෙයාකාරයෙන් රාජකාරියට බාධා කළ බවය.

 තමාට දැනුම් දීමකින් තොරව ජනතාව රැස් කිරීමට නොහැකි බව පවසමින් ද ඔවුහු දැඩි ලෙස බැණ  තර්ජනය කිරීම හේතුවෙන් තම රාජකාරිය ඉටු කර ගැනීමට නොහැකි වූ බවත්ය .

මේ පිළිබඳව ජනතාව බොහෝ දුරට කුපිත වීමට ඉඩ තිබෙන බව ද ඔහු සඳහන් කොට තිබේ. වැඩි මුස්ලිම් ජනගහනයක් වෙසෙන  නබඩගහවත්ත ප්‍රදේශයේ තමන් සිංහල ජාතික රජයේ නිලධාරියෙකු නිසා සමහර විට එම ජනතාව අතර වෙනත් ප්‍රතිරූපයක් මෙමගින් මැවීමට හැකි බවත් ඔහු  සඳහන් කළේය.

මෙම පැමිණිල්ල පිළිබඳව චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ගලේවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ඉමිටියාස් මොහොමඩ් ගවුස් මහතාගෙන් අප විමසීමක් කළෙමු. ඒ මහතා කියා සිටියේ ග්‍රාම නිලධාරීවරයා තමන්ට හිතුමතේ ජනතාව රැස් කොට විවිධ තොරතුරු ලබාගන්නා බවය. දේශපාලන අධිකාරිය පැත්තෙන් තමන් ගමේ මන්ත්‍රීවරයා වන බවත් ඔහු ගමට රැස්වීම් කැඳවන්නේ නම් තමාව  දැනුවත් කිරිම ග්‍රාම නිලධාරීවරයාගේ වගකීමක් බවද සඳහන් කළේය .

එසේම  තමාගේ විමසීමකින් තොරව ගම්මුන් රැස්කොට  වීවිධ පත්‍රිකා කිසිදු අරමුණකින් තොරව සටහන් කර ගැනීම සිදු කරන බව ඔහු  පැවසීය.

පසුව අප මේ පිළිබඳව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  නිලංග ප්‍රනාන්දු මහතාගෙන් විමසීමේදී කියා සිටියේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීවරයාගේ පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණ කිරීමට අදාළ   මන්ත්‍රීවරයාට අවස්ථා කීපයකම පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නද ඔහු පොලීසියට නොපැමිණි බව ය. මේ හේතුවෙන් තමන් වහාම දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම නැවත   මන්ත්‍රීවරයා මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ තමන් දිස්ත්‍රික් ලේකම්වරයාට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට මේ පිළිබඳව දුරකථනයෙන් සහ මුණ ගැසී කතා කළ බව ය .

තමන් බැණ වැදුණු ග්‍රාම නිලධාරීවරයාගේ නිවසට ගොස් සමාව ගැනීමට ද තමන් කැමැත්තෙන් සිටි නිසා පොලීසියට නොගිය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් ග්‍රාමනිලධාරීවරයා කියා සිටියේ දිගින් දිගටම විවිධ ඉහළ නිලධාරීන් බලධාරීන් හරහා තමාට දුරකථනය ඔස්සේ විවිධ බලපෑම් එල්ල වෙමින් පවතින බවය.

අද වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here