Home Entertainment නීස් ජාත්‍යන්තර සිනමා උ‌ළෙලේ හොඳම නිළිය සම්මානයෙන් නීටා ප්‍රනාන්දු පිදුම් ලබයි

නීස් ජාත්‍යන්තර සිනමා උ‌ළෙලේ හොඳම නිළිය සම්මානයෙන් නීටා ප්‍රනාන්දු පිදුම් ලබයි

431
0

ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංග ශිල්පිනී නීටා ප්‍රනාන්දු රංගනයෙන් දායක වූ ‘පාංශු‘ සිනමාපටය පසුගිය 18 වනදා ප්‍රංශයේ නීස් සිනමා උළෙලට ඉදිරිපත් කර තිබූ අතර එම චිත්‍රපටයේ ඇය නිරූපණය කළ චරිත රංගනය සඳහා ‘විදෙස් භාෂිත අංශයේ හොඳම නිළිය’ සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

කුමාර කරව්දෙනිය දක්ෂතම ඇඳුම් නිර්මාණ ශිල්පියා ‌ලෙසද, විදෙස් භාෂිත සිනමා අංශයේ ‌‌හොඳම තිර රචනාවට පිදෙන සම්මානය සඳහා විසාකේස චන්ද්‍රසේකරන්ගේ නම නිර්දේශ වුණා.

එම චිත්‍රපටයේ ඇය නිරූපණය කරන ලද්දේ ‘බබා නෝනා’ නම් රෙදි සෝදන (ඩෝබි) කාන්තාවකගේ චරිතයකි.

මීට ‌පෙර ද ජාත්‍යන්තර සම්මානයට පත් නීටා ප්‍රනාන්දු කලාශූරී සම්මානයෙන් ද පිදුම් ලබා සිටිනවා.

ඇය ‌මේ වන විට 71 වැනි වියේ සිටියදී ‌රංගනයක් සඳහා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වීම විශේෂ සිදුවීමක්.

88/89 භීෂන සමයේ පැරා මිලිටරි කණ්ඩායමක් විසින් පැහැරගෙන යන ලද පුතු ‌වෙනුවෙන් යුක්තිය ‌සොයන මවකගේ චරිතයක් සඳහා ඇය ‌මෙහි දී රංගනයෙන් දායකත්වය සපයනු ලබනවා.

ජයග්‍රහණයේ ප්‍රීතිය විඳිමින් ඇය කියා සිටියේ ” මගේ රංගන ජීවිතයේ මා කළ දුෂ්කරම චරිතය ‌මේකයි.” කියායි.

ඇඳුම් නිර්මාණයක් උදෙසා ජාත්‍යන්තර සිනමා උළෙලකදී ලාංකීය නිර්මාණයකට ලැබුණු ප්‍රථම සම්මානය දිනාගත්තේ ‘පාංශු’ චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කළ කුමාර කරව්දෙණිය යි. ‌‌

මේ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂනය ද කුමාර කරව්දෙණිය වීම විශේෂත්වයක්.

‘පාංශු’ චිත්‍රපටය අධ්‍යක්ෂණය ‌කෙළේ විසාකේස චන්ද්‍රෙස්කරන් විසින් වන අතර විසාකේස චන්ද්‍රසේකරන් සම්මානනීය රචකයෙකු මෙන්ම නාට්‍ය නිෂ්පාදකවරයෙකු ලෙසද නමක් දිනා සිටින අතර චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කරනු ලබනවා.

සම්මාන ලැබීම ගැන විසාකේස කියා සිටියේ “අපගේ නිර්මාණයට ජාත්‍යන්තර අවධානයක් ලැබීම නිසා ‌මේ නිර්මාණයෙන් සාකච්ඡා ‌කෙරෙන නීතියේ ආධිපත්‍යය, යුක්තිය හා සංහිඳියාව යන ‌දේවල් ගැන කතා බහක් ඇති කරන්නට අපට හැකිවේවි. නීටා තම පුතු ‌වෙනුවෙන් යුක්තිය ‌සොයමින් දඬුවම් අයදින මවකගේ මුළු බර කරට ගත්තා. මා සිතන හැටියට නීටාගේ රංගන ජීවිතයේ ඇය ‌මෙතෙක් කළ විශිෂ්ඨතම රංගනය ‌මෙයයි” යනුවෙනි.

‘පාංශු’ චිත්‍රපටයේ නදී කම්මැල්ලවීර, ජගත් මනුවර්ණ, නිල්මිනි බුවනෙක, මැල්කම් මචාඩෝ, ‌ග්‍රේස් ආරියවිමල් ඇතුළු නළු නිළි පිරිසක් ‌සෙසු චරිත රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.

සංගීතය චින්තක ජයකොඩි විසින් වන අතර ටීවීටී ආයතනය සහ හැව්ලොක් ආට්ස් ස්ටුඩියෝ විසින් පාංශු නිෂ්පාදනය කර තිබෙනවා.

පාංශු ‌මොන්ට්‍රියෙල් සිනමා උළෙල ද නියෝජනය කර ඇති අතර පාංශු චිත්‍රපටය ‌මේ වන විට ජාත්‍යන්තර ඉහළ ‌පෙළේ සිනමා උළෙල 07 ක් සඳහා ‌තෝරාගෙන තිබෙනවා.

මනෝජ් රූපසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here