Home Local ෆේස්බුක් ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ සරසවි සිසුවා රිමාන්ඩ්

ෆේස්බුක් ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ සරසවි සිසුවා රිමාන්ඩ්

394
0

පසුගිය 13 වැනිදා විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්වී ඇති බවට මුහුණු පොත ඔස්සේ අසත්‍ය ප‍්‍රචාරයක් කළ සරසවි සිසුවකු ලබන 23 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම වීරසිංහ ඊයේ (15) නියෝග කරනු ලැබුවා.

සංඛ ප‍්‍රමෝද් ආරියවංශ නමැති පිළියන්දල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවකුයි එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළේ.

සැකකරු කර ඇත්තේ එකී ප‍්‍රචාරය නිර්මාණය කිරීම නොව අන් කිසිවකු විසින් අන්තර්ජාලයට මුදාහරින ලද්දක් විහිළුවට මෙන් ඔහුගේ මුහුණු පොත හරහා හුවමාරු කරගැනීමක් පමණක් බව පෙන්වා දුන් ඔහුගේ නීතිඥවරයා ඕනෑම කොන්දේසියක් යටතේ සැකකරු ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙය ඉතා සංයමයෙන් කටයුතු කළ යුතු කාලයක් මිස විහිළු තහළු කිරීමට කාලයක් නොවන බව විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය විත්තිය කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ. ජේ. ඒ. අබේනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here