Home Hit ලංකාවේ විවාහ නීතියෙන් ප්‍රංශයේ පුරවැසිභාවය ගැනීමට ගිය ජාවාරමක් හෙළිවෙයි

ලංකාවේ විවාහ නීතියෙන් ප්‍රංශයේ පුරවැසිභාවය ගැනීමට ගිය ජාවාරමක් හෙළිවෙයි

776
0

ශ්‍රී ලංකාවේ විවාහ නීතිය උපයෝගී කර ගනිමින් ප්‍රංශයේ පුරවැසිභාවය ලබා ගැනීමේ ජාවාරමක නියැලී සිටි බංගලාදේශ ජාතිකයන් සිව් දෙනෙකු ඊයේ (13) දින සවස ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන – විගමන දෙපාර්තමේන්තු සහකාර පාලකවරයා කටයුතු කර තිබෙනවා.

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රංශයේ සරණාගතයින් සේ ලියාපදිංචි වී ඇති 35 හැවිරිදි බංගලාදේශ ජාතික පිරිමි දෙදෙනා ඊයේ දින පස්වරු 2.00ට ඕමාන් ගුවන් සේවයේ WY – 372 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ පැමිණ ඇතැයි වාර්තා වනවා.

එහිදී ගුවන් තොටුපළ ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොවුන්ගෙන් ශ්‍රී ලංකාවට පැමිණීමේ හේතුව විමසත් දී ඒ සදහා ප්‍රමාණවත් පිළිතුරක් දීමට අපොහොසත් වී තිබීම නිසාත්, ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු ඔවුන් ප්‍රංශය වෙත පිටුවහල් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයට මොවුන් දෙදෙනා නංවා ගැනීමට සූදානම්වත්ම ඔවුන් එම ගුවන් යානා කාර්යය මණ්ඩලයට බාධා කරමින් කෑකෝ ගසමින් විරෝධතාව පළ කර ඇතැයි වාර්තා වනවා.

එනිසා මොවුන් දෙදෙනා එම ගුවන් යානයට නංවාගැනීම පසෙක ලා ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් භාරදීමට ගුවන් යානා කාර්යය මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අතර 13 වනදා පස්වරු 4.20ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 190 දරන ගුවන් යානයෙන් තවත් බංගලාදේශ ජාතිකයන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර ඔවුන් අතරින් 50 හැවිරිදි පියෙකු සහ 20 හැවිරිදි දුවෙකු සිට තිබෙනවා.

ඔවුන් දෙදෙනා ගුවන් තොටුපළ වෙත පැමිණි පසු , මුලින්ම පිටුවහල් කිරීමට සූදානම් කර තිබූ බංගලාදේශ ජාතිකයන් දෙදෙනා සමග කථා බස් කරනු දුටු ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොවුන් සිව් දෙනාම තම කාර්යාල පරිශ්‍රය තුළට කැදවා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එහිදී මෙම පියා සහ දුවගේ ගමන්මල්ලේ අනෙක් බංගලාදේශ ජාතිකයන් දෙදෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර වල ජායා පිටපත් 02ක් ද හමු වී ඇති අතර පසුව මොවුන්ගෙන් දීර්ඝව සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී මෙම සියලු සැලසුම් අනාවරණය කර ගැනීමට ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට හැකිවුණා.

ශ්‍රී ලංකාවේ පවත්නා විවාහ නීතිය අනුව දින 03ක් ශ්‍රී ලංකාවේ ගත කළ පසු ශ්‍රී ලංකාව තුළ තම විවාහය ලියාපදිංචි කළ හැකි නිසා එම අවස්ථාව භාවිතා කර මෙරට තුළ දී විවාහය ලියාපදිංචි කර පසුව එම පුරුෂයා ප්‍රංශය වෙත ගොස් තම බිරිඳ සදහා පුරවැසිභාවය ඉල්ලා සිටීම මෙම ජාවාරමයි .

මීට පෙර අවස්ථා ගනනාවකදී ද මෙවැනි සිදුවීම් ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන තිබෙනවා.

ඉන්පසුව ප්‍රංශයේ සිට පැමිණි බංගලාදේශ ජාතිකයන් දෙදෙනා ඕමාන් ගුවන් සේවයේ WY – 373 දරන ගුවන් යානයෙන් සහ දුව සහ පියා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 191 දරන ගුවන් යානයෙන් ද ඊයේ දින සවස 5.30 ට පමණ ආපසු ඔවුන් පැමිණි රටවල් වෙත පිටුවහල් කර තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here