Home Sports IPL ජය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට – අවසන් පන්දුවාරය ලසිත් මාලිංගගෙන්

IPL ජය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට – අවසන් පන්දුවාරය ලසිත් මාලිංගගෙන්

427
0

සිව්වන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත් කරමින්.

හයිදරාබාද් හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා.

කිරන් පොලාඩ් නොදැවී ලකුණු 41යි.

පන්දු යැවීමේ දී දීපක් චහාර් කඩුලු 03ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායමට නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 148ක් පමණයි.

ශේන් වොට්සන් ලකුණු 80ක් රැස් කළා.

ඔහු ලබා දුන් උඩ පන්දු කිහිපයක් මුම්බායි පන්දු රකින්නන් අතින් ගිලිහී යාම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී ජෙස්ප්‍රිට් බුම්රා ලකුණු 14කට කඩුලු 02ක් බිද හෙලුවා.

අවසන් පන්දුවාරයේ දී චෙන්නායි කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 09ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවාරය යවනු ලැබුවේ ලසිත් මාලිංග විසින්.

තරගයේ අවසන් පන්දුවට චෙන්නායි කණ්ඩායමට තරගය ජය ගැනීමට ලකුණු දෙකක් අවශ්‍ය වූ නමුත් එම පන්දුවේ දී ෂර්දුල් තාකූර්ගේ කඩුල්ල දවා ගත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිව්වන වරටත් අයි.පී.එල් ශූරතාවය හිමි කර දීමට සමත් වුණා.

මුම්බායි කණ්ඩායම 2013, 2015 සහ 2017 යන වසරවලදී මීට පෙර අයි.පී.එල් ශූරතාවය දිනා ගැනීමට සමත්කම් දක්වා තිබුණා.

ඒ අනුව මෙවර ලැබූ තරගාවලි ජයත් සමගින් රෝහිට් ෂර්මා නායකත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වාර්තා අතරට එක් වූයේ වැඩිම වාර ගණනක් අයි.පී.එල් ශූරතාවය දිනා ගත් කණ්ඩායම ලෙසයි.

අවසන් තරගයේ වීරයා ලෙස ජෙස්ප්‍රිට් බුම්රා සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ඇන්ඩ්‍රි රසල් තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here