Home World ලොව දැවැන්තම මැතිවරණය ඇරඹෙයි

ලොව දැවැන්තම මැතිවරණය ඇරඹෙයි

556

ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියර සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම අද (11) ආරම්භ වී තිබෙනවා.

මෙය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිබඳ ජනමත විචාරණයක් බඳු ඡන්දයක් යැයි විදෙස් දේශපාලන විචාරකයින් පවසනවා.

ඉන්දියාවේ ප්‍රාන්ත සහ ඒකාබද්ධ පළාත් 20ක ජීවත් වන මිලියන 900ක ඡන්දදායකයන් පිරිසක් මෙවර ඡන්ද පාවිච්චි කරන අතර, ඔවුන් ඡන්ද කොට්ඨාස 91ක, ඡන්ද පොළ මිලියනයකදී සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇති.

අදියර 07ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය ලබන මැයි මස 19 වනදා දක්වා පැවැත්වෙන අතර, ඡන්ද ගණන් කිරීම් ඇරඹෙන්නේ මැයි මස 23 වනදායි.

මිලියන 900ක ලියාපදිංචි ඡන්දදායකයන් පිරිසක් මෙවර මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින නිසා මෙය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පැවැත්වෙන ලොව දැවැන්තම මැතිවරණය ලෙස හැඳින්වීමේ වරදක් ද නැත.

2014 වසරේ අවසන් වරට පැවති මහ මැතිවරණයෙන් වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලැබුවා.

ලොක් සභාව හෙවත් ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා වූ ආසන 543ක් වෙනුවෙන් මෙම දැවැන්ත මැතිවරණය පැවැත්වෙන අතර, එය ජයග්‍රහණය කර රජයක් පිහිටුවීමට නම් කිසියම් පක්ෂයකට හෝ සන්ධානයකට ආසන 272ක බලයක් අවශ්‍ය වනු ඇති.

කොංග්‍රසය නියෝජනය කරමින් රාහුල් ගාන්ධි සමග ඔහුගේ සොහොයුරිය ප්‍රියාංකා ගාන්ධි දේශපාලනයට පිවිස මෙවර ඡන්ද සටනට පැමිණ සිටියත් ඔවුන්ට තනි බලයක් ලබාගැනීම පහසු නොවනු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here