Home Local ජාතික රූපවාහිනී මුල් පුටුවට ඇමති නම් ජනපති කපයි

ජාතික රූපවාහිනී මුල් පුටුවට ඇමති නම් ජනපති කපයි

420

රජයේ ආයතන වල ඉහළ නිලධාරීන් පත්කිරීමේ කමිටුව විසින් ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට නම් කර යවන ලද දෙදෙනෙකුම ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් කපා හැර ඇතැයි වාර්තා වනවා.

ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන විසින් ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට ප්‍රථමයෙන් නීතිඥ සුදර්ශන ගුණවර්ධන නම් කර තිබී ඇති අතර රාජ්‍ය ආයතන වල ඉහළ නිලධාරීන් පත්කිරීමේ කමිටුව ද නීතිඥ සුදර්ශන ගුණවර්ධනගේ නම අනුමත කර තිබූ නමුත් ජනපතිවරයා ඔහුගේ පත් කිරීමට එරෙහි වී තිබෙනවා.

අනතුරුව ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ශාන් විජේතුංග ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් නම් කර, කමිටුව ද අනුමත කර ඇතත් එම පත්වීම පිළිබඳව තවමත් ජනාධිපතිවරයා එකඟතාව පළකර නැති බව දැනගන්නට තිබෙනවා.

රාජ්‍ය ආයතන වල ඉහළ නිලධාරීන් පත්කිරීමේ කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කරනුයේ ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයායි.

මේ සම්බන්ධයෙන් නීතිඥ සුදර්ශන ගුණවර්ධනගෙන් විමසූ විට කියා සිටියේ තමන්ගේ නම ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට නම් කර යවා තිබූ බව සත්‍යයක් බවත් එහෙත් ජනාධිපතිවරයා විසින් සිය පත්වීම අනුමත කර නොමැති බවයි.

නීතිඥ සුදර්ශන ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ අයකු වන අතර දින 51 ආණ්ඩු සමයේ දී එම ධුරයෙන් ඉවත් කර තිබුණද කැබිනට් පත්වීමක් වන ඔහුගේ පත්වීම තවමත් අවලංගු කර නැහැ.

මාධ්‍යවේදී ශාන් විජේතුංග ගෙන් සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්නගෙන් මේ ගැන විමසීමට උත්සාහ කළද එම උත්සාහය අසාර්ථක වී තිබෙනවා.

නිමල් අබේසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here