Home Hit ඇප ලැබුණු දිමුත්ට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විනය පරීක්ෂණයක්

ඇප ලැබුණු දිමුත්ට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විනය පරීක්ෂණයක්

649

බීමතින් රිය පදවමින් සිටියදී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්නව ශරීර ඇප 02ක් මත මුදාහැරීමට කොළඹ අධිකරණයේ අතිරේක මහෙස්ත‍්‍රාත් සාලිය චන්න අබේරත්න විසින් ඊයේ (01) නියම කර තිබෙනවා.

රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 02ක් මත කරුණාරත්නව මුදාහැර ඇති අතර යළිත් නඩු විභාගය ලබන 02 වැනිදා කැදවීමට නියමිතයි.

පෙරේදා (31) අලූයම බොරැල්ල කිංසි හෝර්ටන් ප‍්‍රදේශයේදී සිදුව ඇති අදාළ අනතුරින් ත‍්‍රීරෝද රථ රියැදුරු තුවාල ලබා ඇති අතර ත‍්‍රීරෝද රථයට ද දැඩි අලාභහානි සිදුව තිබෙනවා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නව ත‍්‍රීරෝද රථයක් ලබාදීමට ද දිමුත් කරුණාරත්න තීරණය කර ඇති අතර ඒ බව දිමුත්ගේ නීතිඥයා විසින් අධිකරණයට දන්වා තිබෙනවා.

අදාළ සිද්ධියේදී දිමුත්ට එරෙහිව බීමත්ව රිය පැදවීම, අපරීක්ෂාකාරී ධාවනය, වර්ණ සංඥා වලට විරුද්ධව රිය ධාවනය කිරීම සහ තුවාල සිදුකිරීම යන චෝදනා යටතේ නඩු පවරා තිබුණා.

ඒ අනුව දිමුත්ගේ රියැදුරු බලපත‍්‍රයද තාවකාලිකව අත්හිටුවීමටයි අධිකරණය විනිසුරු නියෝග කර ඇත්තේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග වාර්ෂික කොන්ත‍්‍රාත්තු ගතව සිටින දිමුත් කරුණාරත්නට අදාළ සිද්ධියෙන් පසුව විනය පරීක්ෂණයක් පැවැත්වීමටද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තීරණය කර තිබෙනවා.

ඉදිරි දිනයකදී ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා තීරණයක් ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සූදානමින් පසුවන බවයි වාර්තා වන්නේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කොන්ත‍්‍රාත්තුව අනුව අදාළ වරදවල් කළහොත් ඒ සම්බන්ධයෙන් විනයානුකූල කි‍්‍රයාමාර්ග ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සතුව අයිතියක් තිබෙනවා.

ක‍්‍රිකට් ආයතනය වෙනුවෙන් කොන්ත‍්‍රාත් ගතව සිටින සියලූම ක‍්‍රීඩකයන් වෙනුවෙන් කෝටි ගණනක් වාර්ෂිකව ගෙවීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කටයුතු කරද්දී ඔවුන්ට යම් කොන්දේසි මාලාවක්ද ඊට ඇතුළත් කර ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here