Home Local තිලං‍ගට එරෙහිව පෙත්සම් ගසයි

තිලං‍ගට එරෙහිව පෙත්සම් ගසයි

398
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල වත්මන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමට එරෙහිව ක්‍රීඩා අමාත්‍යවරයාට පෙත්සම් කිහිපයක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වනවා.

එම පෙත්සම් වලින් පෙන්වා දී ඇත්තේ ක්‍රීඩා පනත සහ ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව හිටපු සභාපතිවරයාට විධායක කමිටුව නියෝජනය කිරීමට නොහැකි බවත් එය වළක්වාලන නියෝගයක් ක්‍රිකට් ආයතනයට නිකුත් කරන ලෙසත්ය.

ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව මෙම මස කිහිපවරක්ම රැස්වී තීන්දු තීරණ රැසක් ගෙන ඇති අතර, එම රැස්වීම් සියල්ලටම හිටපු ක්‍රිකට් සභාපතිවරයා සහභාගී වී ඇති බවත්, විධායක කමිටුවේ ලිඛිත වාර්තා පිරික්සීමේදී පෙනී ගිය බවත් එම පෙත්සම්වල සඳහන්.

ඒ අනුව හිටපු ක්‍රිකට් සභාපතිවරයාට ජාත්‍යන්තර සබඳතා සහ ජාතික ව්‍යාපෘති කමිටුවේ සභාපතිත්වය පිරිනමා ඇති බවත්, මෙරටදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත LPL තරගාවලියේ සියලුම මෙහෙයුම් කටයුතු ඇතුළු ජාතික ව්‍යාපෘති ගණනාවක් ඔහු යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් එම නිසා ඉන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ව්‍යවස්ථාවටද අගතියක් වන බවත් එම පෙත්සම්වලින් පෙන්වා දී තිබෙනවා.

මීට අමතරව ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කළ එම පෙත්සම් වලට ඔහුගේ සහෝදරයාගේ නමින් BLT/1002 දරන ලිපිගොනුව යටතේ බදු ගෙවන ලියාපදිංචි සූදු ව්‍යාපාරයක තොරතුරුද යොමු කර ඇති බව අනාවරණය වනවා.

තවද එම පෙත්සම්වල වැඩිදුරටත් සඳහන් වනුයේ ක්‍රීඩා පනතට අනුව ඍජුව සහ වක්‍රව සූදු ව්‍යාපාරවල නිරත වන්නන්ට ජාතික ක්‍රීඩා සංගම්වල කිසිදු තනතුරක් දැරිය නොහැකි බවත්, හිටපු සභාපතිවරයා ඍජුව සහ වක්‍රාකාරයෙන් ඊට සම්බන්ධ බවට තොරතුරු පනත යටතේ ලබාගත් තොරතුරුද ඇති බවත්, එහෙයින් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීම වළක්වාලමින් නියෝගයක් ලබාදෙන්නැයි යනුවෙනුයි.

පැතුම් ශ්‍රී විජේරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here