Home World බෝයිං අර්බුදයත් සමඟ එයාර්බස්‌ සමාගමට ගුවන් යානා 300ක ඇණවුමක්‌

බෝයිං අර්බුදයත් සමඟ එයාර්බස්‌ සමාගමට ගුවන් යානා 300ක ඇණවුමක්‌

254
0

එයාර්බස්‌ සමාගමෙන් අමෙරිකානු ඩොලර් බිලියන 34ක පමණ වටිනාකමින් යුත් ගුවන් යානා 300ක්‌ මිල දී ගැනීමට චීනය ගිවිසුමකට එළඹ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීනය A – 320 සහ A – 350 ගුවන් යානා මිල දී ගැනීමේ එම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ, ජනාධිපති ෂී ජින්පිං යුරෝපයේ සංචාරයක නිරතව සිටින අතරතුරදීයි.

මෙම ගිවිසුමට අත්සන් තබන ලද්දේ, එයාර්බස්‌ සමාගමේ ප්‍රතිවාදියා වන බෝයිං සමාගමේ 737 මැක්‌ස්‌ ගුවන් යානා 02ක්‌ මාරාන්තික අනතුරට ලක්‌වීමෙන් පසු එම මාදිලියේ සියලු ගුවන් යානා පියාසර කරවීම අත්හිටුවා ඇති පසුබිමක වීම සුවිශේෂීත්වයක්.

එයාර්බස්‌ සමාගම නිවේදනයක්‌ නිකුත් කරමින් පවසන්නේ චීන ගුවන් සමාගම සඳහා A – 320 වර්ගයේ ගුවන් යානා 290ක්‌ සහ A – 350 වර්ගයේ ගුවන් යානා 10ක්‌ වෙනුවෙන් ගිවිසුමකට එළැඹි බවයි.

එම ගනුදෙනුවේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 34ක්‌ පමණ වන බව වාර්තාවල සඳහන්.

“චීනයේ සිවිල් ගුවන් සේවාවන්හි වර්ධනයට අපට හවුල් වෙන්න ලැබීම ගෞරවයක්‌ ලෙස සලකනවා” එයාර්බස්‌ සමාගමේ වාණිජ ගුවන් යානා සභාපති ගිලෝමේ නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

ඔහු අප්‍රේල් මාසයේ සිට එයාර්බස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

“චීනය සමඟ අපේ සබඳතා පුළුල් වීම නිසා එරට වෙළෙඳපොළ සම්බන්ධයෙන් අපට දැඩි විශ්වාසයක්‌ ඇති වෙලා තියෙනවා” යනුවෙන් ද ඔහු කියා සිටිනවා.

මෙම ගිවිසුම අමෙරිකාවේ බෝයිං සමාගමට එල්ල කළ අතුල් පහරක්‌ ලෙසයි ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

පසුගියදා ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් බෝයිං 737 මැක්‌ස්‌ ගුවන් යානයක්‌ කඩා වැටීමෙන් පුද්ගලයන් 157 දෙනෙකු ජීවිතක්‌ෂයට පත් වුවද, එම සමාගමේ ප්‍රධානියා පවසන්නේ, “තමන් තවමත් බෝයිං පිළිබඳව විශ්වාසය තබන” බවයි.

ඉතියෝපියානු ගුවන් සමාගමේ ප්‍රධානී ටෙවෝල්ඩේ ගෙබ්‍රෙමායාම් පැවසුවේ, ඉතියෝපියානු ගුවන් සමාගම සහ බෝයිං සමාගම අතර සබඳතා අනාගතයේදී ද පවත්වාගෙන යන බවයි.

සිය ගුවන් සමාගමේ ගුවන් යානාවලින් 03න් 02කට වඩා වැඩි සංඛ්‍යාවක්‌ බෝයිං සමාගමේ ගුවන් යානා වන බවත් ඔහු සඳහන් කර සිටිනවා.

එයාර්බස්‌ සමාගම ද පසුගියදා අර්බුදයකට මුහුණ දුන් අතර ඒ, “අහසේ හෝටලය” යනුවෙන් හැඳින්වූ ලොව විශාලතම මගී ගුවන් යානය වන A – 380 ගුවන් යානය නිෂ්පාදනය කර වසර 12කට පසු අසාර්ථක වීමත් සමගයි.

මුල් කාලයේ එම ගුවන් යානා සඳහා එමිරේට්‌ස්‌ ඇතුළු ගුවන් සමාගම්වලින් ඇණවුම් රැසක්‌ ලැබුණද, පසුව ඒ සඳහා පැවති ඉල්ලුම අඩු වූ අතර එය ලාභ නොලබන ව්‍යාපෘතියක්‌ බවට පත්වුණා.

එම ව්‍යාපෘතියේ ඉලක්‌කය වී තිබුණේ, ගුවන් යානා 700ක්‌ අලෙවි කිරීමයි.

මහල් 02කින් සමන්විත එම ගුවන් යානා මගීන් අතර ජනප්‍රිය වුවද, ගුවන් සමාගම්වලට පෙනීගොස්‌ ඇත්තේ, එය අසාර්ථක බවයි.

ඇතැමෙකු පවසන්නේ, A 380 ගුවන් යානය අතිවිශාල හෙයින් ආසන රැසක්‌ හිස්‌ව ගුවන් ගමන් යැම නිසා ඉන් ලාභ ඉපයිය නොහැකි බවයි.

බ්‍රිටිෂ් එයාර්වේස්‌ සමාගමේ මවු සමාගම වන අයිඒජී සමාගමේ ප්‍රධානී විලී වෝල්ෂ් පැවසුවේ, එම ගුවන් යානය හොඳ වුවත් මිල අධික බවයි.

ඉන්ධන මිල ඉහළ යැම සහ ගුවන් යානාවලින් පරිසරයට එල්ල වන බලපෑම සැලකිල්ලට ගෙන ඇතැම් ගුවන් සමාගම් බෝයිං සහ එයාර්බස්‌ සමාගම්වල කුඩා එහෙත් වඩාත් කාර්යක්‌ෂම ගුවන් යානා කෙරෙහි යොමු වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here