Home Local අප්‍රේල් 01 වනදා සිට බස් ලා නිල් පාට වෙයි

අප්‍රේල් 01 වනදා සිට බස් ලා නිල් පාට වෙයි

577
0

බස්නාහිර පළාතේ ධාවනය වන සියලූ පෞද්ගලික බස්රථ සඳහා ලබන අපේ‍්‍රල් 01 වනදා සිට ලා නිල් පැහැති වර්ණය නිර්දේශ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති දේශබන්ධු තුසිත කුලරත්න පවසනවා.

මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා විසින් මෙම ලා නිල් පැහැය අනුමත කර ඇතැයි ද සභාපතිවරයා මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය ශ‍්‍රවණාගාරයේ ඊයේ (26) සඳහන් කර සිටියේ.

දැනට ධාවනයේ යෙදෙන පෞද්ගලික බස්රථ විවිධ විකාර රූපී වර්ණයන්ගෙන් සහ විවිධ ස්ටිකර්වලින් යුක්තව හැඩකර ඇති බවත්, ඉදිරියේදී එම වර්ණ ඉවත් කර ලා නිල් පැහැය ආලේප කරගන්නා ලෙසට දැනුවත් කරමින් මාස 02ක කාලයක් කල් ලබා දෙන බවත් හෙතෙම කියා සිටියා.

විවිධ වර්ණවලින් සකසා ඇති පෞද්ගලික බස් රථ බොහෝමයක් රිය අනතුරුවලට ලක්වීමේ ප‍්‍රවණතාවක් දක්නට ඇතැයි ද සභාපතිවරයා සඳහන් කර සිටියා.

මෙවැනි බස්රථ නිසා පසුගිය කාලය තුළ බස්රථ අනතුරුවලට ලක්වී මගීන් සහ පදිකයන් බොහෝ දෙනකු තුවාල ලැබූ බවත්, තවත් පිරිසක් මියගොස් ඇති බැවින් මෙලෙස ලබා දෙන මාස 02ක කාලය තුළ සියලූ පෞද්ගලික බස්රථ ලා නිල් පැහැය වර්ණ ගැන්විය යුතු බවත් එසේ නොකරන බස්රථ හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් සභාපතිවරයා සඳහන් කර සිටියා.

එසේම පෞද්ගලික බස්රථ පිටරටින් ආනයනය කිරීමේදී එම ගෙන්වන බස්රථ පවා ලා නිල් පැහැය ඇති බස්රථ පමණක්ම ගෙන්වීමට කි‍්‍රයාකරන ලෙසයි සියලූම බස්රථ හිමිකරුවන්ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here