Home Local විදුලිබල ඇමති නොරච්චෝලේ නිරීක්ෂණ චාරිකාවක – PHOTOS

විදුලිබල ඇමති නොරච්චෝලේ නිරීක්ෂණ චාරිකාවක – PHOTOS

290
0

නොරචෝලේ තාප විදුලි බලාගාරයේ ජනන කටයුතු සාමන්‍ය ආකාරයට සිදුවන බැවින් විදුලිය කප්පාවක් සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි විදුලි බල සහ බල ශක්ති අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

අමාත්‍යවරය මේ බව සඳහන් කර සිටියේ අද (21) පෙරවරුවේ නොරචෝලේ තාප විදුලි බලාගාරයට පැමිණ එහි ප්‍රධාන පාලක මැදිරිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”පැය 36 ක් වැනි කෙටි කාලයක් තුළ නොරචෝලේ තාප විදුලි බලාගාරයේ ඇති වූ ගැටළුව යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලයේ සේවක පිරිස සමත් වී තිබෙනවා. ඒ සදහා වෙහෙස මහන්සි වූ සියළුම දෙනාට අපගේ ස්තූතිය පුද කළ යුතු වනවා. සාමාන්‍යයෙන් විදුලිය බිද වැටීම් සිදුවනවා. බලාගාර වල ගැටළු ඇති වනවා. නමුත් ඇතැම් මාධ්‍ය තුළින් පසුගිය දින කීපය තුළ ජනතාව තුළ අනිසි බියක් ඇති කර තිබුණා. මේ වන විට රටපුරා විශාල විදුලිය ඉල්ලුමක් තිබෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ උෂ්ණත්වය ඉහළ යාමයි. ඉල්ලුමට සැපයුමක් ලබාදීම සදහා අවුරුදු 04 කින් 05 කින් අළුත් ජනනයක් සිදුවී නැහැ. ඒ නිසා අපි ජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ මාසයක් වැනි කාලය තුළ විදුලි පාවිච්චි කිරීම අවම කර ගැටළුව නිරාකරණය කර ගැනීමට සහාය වන ලෙසයි. මෙවැනි තත්ත්වයක් නැවත ඇති නොවන ආකාරයට කටයුතු කරන බවටත් ප්‍රකාශ කරන්න කැමතියි.

ඇතැම් අය කියනවා විදුලි සැපයීම සම්බන්ධයෙන් මාෆියාවක් තිබෙන බව. ප්‍රශ්ණයක් තිබෙන බව අපි පිළිගන්නවා. නමුත් අවුරුදු 04කට පමණ පෙර යවන ලද ඊමේල් පණිවිඩයක් භාවිතා කරමින් තමයි ඇතමුන් ජනතාව තුළ අනිසි බියක් ඇති කර තිබෙන්නේ. අපි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට රහස් පොලීසියට බාර දී තිබෙනවා. රටක් සංවර්ධනය කරන විට යම් යම් ප්‍රශ්ණ ඇති වනවා. නමුත් පැය 36ක් වැනි කෙටි කාලයක් තුළ නොරචෝලේ විදුලි බලාගාරය තුළ ඇති වූ ගැටළුව සම්පූර්ණයෙන්ම නිරාකරණය කිරීමට සේවක මණ්ඩලය කටයුතු කිරීම අපි අගය කළ යුතුයි. මම මේ අවස්ථාවේ මාධ්‍ය ආයතන වලින් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි ජනතාව අතරට වැරදි තොරතුරු යවන්න එපා. නිවැරදි දේ පමණක් දෙන්න කියන එක.

ඉදිරියේදී විදුලිය කප්පුදුවක් සිදුනොකරන බව කියන්න බැහැ. නමුත් අපි කළ යුතු වන්නේ එම තත්ත්වය අවම කිරීමයි. ඒ සදහා තමයි අපි කටයුතු කරන්නේ.

මේ වන තුරු විදුලිය මිළදී ගැනීමක් කර ඇත්නම් ඒ අවශ්‍යතාවය ඉටුකිරීම සදහා පමණයි. එහෙම නැතිව අනියත මිළදී ගැනීම් සිදුකර නැහැ. විදුලිය ඉල්ලුම වැඩි වීමේ මෙම තත්ත්වය තවත් මාසයක් හෝ මාස 1 ½ ක කාලයක් තිබෙන්න පුළුවන්. හැකි තරම් විදුලිය නිෂ්පාදනය කර ජනතාවට ලබාදීමට මිස මිළදී ගැනීමක් කරන්න තවම අදහසක් අපි තුළ නැහැ.”  යනුවෙනුයි.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here