Home Local අඩු ගාණට රජ වාහන බට් කරලා විකුණන කුරුණෑගල ලෝක බොරුව

අඩු ගාණට රජ වාහන බට් කරලා විකුණන කුරුණෑගල ලෝක බොරුව

1751
0

වාහනයක් මිලදී ගැනීමේ සිහිනය බොඳ කරමින් මෙවර අය-වැයෙන්ද වාහන මිල ඉහළ ගියේය. එසේම අද වනවිට රැකියාවේ නියුතු වූවන්ට හිමිවන වැටුප මත වාහනයක් මිලදී ගැනීමටද සිහිනයක් වී තිබේ. මේ හේතුවෙන් බොහෝදෙනා කරන්නේ අඩු මිලට වාහනයක් මිලදී ගැනීමට යොමු වීමය.

එසේ නැත්නම් දුක්මහන්සියෙන් හම්බකර ඉතිරි කරගත් මුදලින් වාහනයක් මිලදී ගැනීම අපේ සිහිනයයි. එහෙත් අප වාහනයක් මිලදී ගැනීමට යෑමේදී වාහනයේ ගුණාත්මක බව පමණක් බලන අතර වාහන අංකය, වාහනයේ පොත ගැන විස්තර බලන්නේ නැත. මේ නිසා අද වන විට බොහෝදෙනෙක් මිලදීගත් වාහන හොරට ලියාපදිංචි කරපු ඒවා යැයි වාර්තා වෙමින් පවතියි.

අද වන විට වාහන කැබැලි එකලස් කර අලුතින් වාහන සාදා ඊට සරිලන පොත් සාදා දීම මහ ජාවාරමක් සේ පෙනෙන්නට තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මේ ආකාරයට හොරාට එකලස් කර හදපු වාහන ඕනෑතරම් තිබෙන බවද වාර්තා වෙයි.

රජයට බදු ගෙවීම පැහැර හරිමින් මේ ආකාරයට වාහන ජාවාරමේ යෙදෙන පිරිස් සොයා කුරුණෑගල ප්‍රදේශයට අපි ගියෙමු. ලංකාව පුරා ඇති පරණ ඕනෑම වාහනයක පොතක් සොයා ගැනීමට නම් යා යුත්තේ කුරුණෑගලටය. ඒ තරමට කුරුණෑගල වාහන ජාවාරම ජයටම සිදුවෙයි.

ජපානයේ රැකියාවට ගොස් සිටින අය අතරින් බහුතරයක් සිටින්නේ කුරුණෑගලය. මේ අය අතරිනුත් කිහිපදෙනෙක් වාහන කැබලි මෙරටට ගෙන්වා වාහන සාදා විකිණීමේ ජාවාරමක නිරත වෙති. අපේ රටේ පවතින විවෘත ආර්ථිකය හේතුවෙන් මෙරටට ඕනෑම දෙයක් ගෙන ඒමට පුළුවන.

වාහනයක් කැබලි ගලවා ඕනෑම කෑල්ලක් මෙරටට ගෙන ඒමට නීතියෙන් බාධාවක් නැත. එලෙස ගෙන එන වාහන උපාංග සඳහා රේගුවෙන් බදු මුදලක් අය කරයි. මෙරටට ගෙනඒමට පුළුවන් වාහන උපාංග යොදා අලුතින් වාහන හැදුවත් එකයි නැතත් එකයි. එහි කාටවත් ගැටලුවක්ද නොවේ. වාහන ජාවාරමේ යෙදෙන අය කියන්නේ එහෙමය.

එහෙත් මේ තර්කවලට මුවාවී වාහන උපාංග ගෙන්වන අය ජපානයෙන් වාහන ගෙන එන්නේ කැබලිකරය. මෙලෙස ගෙන එන කැබලිවලට පමණක් බදු ගෙවන රේගුවෙන් පිට කරගන්න වාහන උපාංග ගෙන්වන්නන් පසුව සම්පූර්ණ වාහනයක් සාදයි. ඉන් පසු එම වාහනය පරණ වාහනයක පොතක් යොදාගෙන ලියාපදිංචිය සිදුකරයි. නමුත් සම්පූර්ණ වාහනයක් ලෙස මෙය ගෙන්වූයේ නම් ඒ සඳහා විශාල බදු මුදලක් ගෙවිය යුතුවෙයි. නමුත් උපාංග ලෙස ගෙන්වන වාහන නිසා රටට විශාල බදු මුදලක් අහිමි වෙයි. පසුගිය කාලයේ මේ ආකාරයට කේ.ඩී.එච්. වෑන් රථ 200ක් පමණ මෙරටට ගෙන්වා ඇත්තේ එම වාහනවල සීට් ගලවා කම්ප්‍රෂර් සවිකරය. කම්ප්‍රෂර් සවිකළ පසු එම වාහනය අංගණ හෝ කර්මාන්ත ශාලාවල ඇතුළත ධාවන සඳහා පමණක් එක් කළ යුතුය. කම්ප්‍රෂර් සවිකොට ගෙන ආ එම වාහන 200 ලංකාවට ගෙන්වූ පසු කම්ප්‍රෂර් ගලවා සීට් සවි කොට වෙළෙඳපොළ වටිනාකමට විකුණා තිබේ. මේ නිසා එක් වාහනයකින් අහිමි වී ඇති බදු මුදල රුපියල් ලක්ෂ 40කට වැඩි බවද තොරතුරු තිබේ.

නීතියෙන් රිංගා යමින් මේ ආකාරයට වාහන අමතර කොටස් ගෙන්වා වාහන සාදා විකුණන එක නවතාලීමට නම් මෙරට වාහන උපාංග ගෙන්වන එක නවතාලිය යුතු බව වාහන ජාවාරමේ යෙදෙන අයගේ මතයයි.

ලංකාවේ මෙන් ජපානයේ වාහන පාවිච්චි කරන්නේ නැත. වසර පහක් වාහනයක් දුවා ඇත්නම් එම වාහනය යකඩවලට වෙන් කෙරේ. සමහර විටෙක මේවා වෙන්දේසි කරන අතර ලංකාවෙන් ජපානයට ගොස් සිටින අය කරන්නේ එම වාහන මිලට ගෙන ‍ෙදාරවල් ටික, ලයිට්, චැසිය, බෝඩිඑක වෙනම ගලවා මෙරටට ගෙන්වීමය. වාහන උපාංග ගෙන්වීමේදී ඊට අදාළ බදු විතරක් ගෙවා ගෙන ඒමට හැකිවුවද ලංකාව ඇතුළේ සම්පූර්ණ වාහනය සාදා විකිණීම සිදුකරයි.

ලංකාව තුළ මේ ආකාරයට වාහන හොරට සෑදීමට හේතුව වාහනවල අධික මිල ගණන්ය. මේ නිසා හොරට වාහන බද්ධ කර හෝ උපාංග එකතු කොට වාහන සාදා අඩු මිලට විකිණීම සිදුකරයි.

ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථවල මේ නිසා වැඩි ඉල්ලුමක් තිබේ. කුරුණෑගල අවට ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් සොයා ගැනීමට පවා අසීරු වී තිබේ. නමුත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක මිල සාමාන්‍ය අයකුට ඔරොත්තු දෙන්නේ නැත. වාහනයක් මිලදී ගැනීමට යන අයකුට අතේ තිබෙන මුදලට වාහනයක් නැත්නම් අද විකල්ප වී ඇත්තේ හොරට සැදූ වාහනයක් මිලදී ගැනීම පමණි.

කුරුණෑගල අවට සමහර වාහන සේල්වලට ගිය විට ඔවුන්ගේ මිල ගණන් කියයි. නමුත් එම මුදලට අප අකැමැති නම් “ඊට අඩුවෙන් වාහනයක් හොයාගන්න බැරි දැයි” ඇසූවිට හොරට සැදූ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් හෝ වෙනත් ඕනෑම වාහනයක් සොයාගත හැකිය. මේ ආකාරයට හොරට සැදූ වාහනයක මිල රුපියල් ලක්ෂ 30-40 කට මිලදී ගැනීමේ හැකියාවද තිබේ.

පරණ වාහන චැසියක් සොයාගෙන දෙල්කඳ, විජේරාම, නුවර ආදී ප්‍රදේශවලින් ඊට අදාළ උපාංග ගෙනැවිත් සම්පූර්ණ වාහනය නිමවයි. ඒ සඳහා ඔවුනට වැය වෙන්නේ රුපියල් ලක්ෂ 10-15ක පමණ මුදලක් බවද වාර්තා වෙයි. එලෙස සකසන වාහනය රුපියල් ලක්ෂ 30-40 අතර මුදලකට විකිණෙයි.

මේ ආකාරයට වාහනයක් සාදා ලෙහෙසියෙන් ලියාපදිංචි කිරීමට බැරිය. නමුත් නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඉන්න ඇතැම් නිලධාරීන් මේ වැඩේට උපරිමයෙන්ම සහාය දෙන බව වාහන ජාවාරමේ යෙදෙන අය කියති.

ඕනෑම පරණ වාහනයක පොතක් සොයා ගැනීමට අවශ්‍ය නම් යා යුත්තේ කුරුණෑගලටය. වාහන අමතර කොටස් විකුණන බොහෝ තැන්වල පොත් සොයාගැනීම තරම් අපහසු නැත. ටොයොටා ලැන්ඩ් කෘෘෂර්, ඉසුසු, නිසාන් වර්ගයේ කෑලි එකලස්කර හදපු වාහනේට පරණ පොත අනුව ලියකියවිලි සැකසෙයි. මේ ආකාරයට හොරට සාදපු ජපන් වාහනයක් කුරුණෑගලදී මිලදී ගැනීමේ හැකියාව තිබේ.

ලීසිං පහසුකම්ද මේ වාහන සඳහා ලබාදීමට ලීසිං සමාගම් පෙරමුණ ගන්නා බවද වාර්තා වෙයි. එසේම ලීසිං පහසුකම යටතේ ලබාගන්නා වාහන තවත් අයට විකුණන වාහනය කැබලි කර විකුණන ක්‍රමවේදයක්ද කුරුණෑගල ක්‍රියාත්මක වෙයි. එලෙස ලීසිං ඇති වාහන කැබලි කර ඒවා විකුණයි. පසුව වාහන චැසියට ජපානයෙන් ගෙන්වන ලද කොටස් සවිකර අලුත් වාහනයක් තනා පැරණි පොතකට ලිපිගොනු සකසයි.

මහ පරිමාණයෙන් සිදුවන වාහන ජාවාරම බොහෝවිට හසුවෙන්නේ වාහනය විකිණීමට ගිය විටය. නැත්නම් අනතුරකට භාජන වූ විට පමණි. නමුත් මේ ජාවාරම කරන අයට දඬුවම් ලැබෙන බවක් පෙනෙන්නට නැත. ඔවුන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, රේගුව ඇතුළු මීට සම්බන්ධ ආයතනවල ඇතැම් පිරිස් උපකාර කරන බවද වාහන ජාවාරමේ යෙදෙන අය කියති.

ලංකාවේ ප්‍රභූවරු ලෙස පෙනී සිටින පිරිසගෙන් බොහෝදෙනෙක් පාවිච්චි කරන්නේද වාහන අමතර කොටස් ගෙන එකලස් කර හොරට ලියකියවිලි හා අංක ලබාගත් වාහන බව ජාවාරමේ යෙදෙන අයම කියති. මේ වාහනවලට අලුත් අංකයක් ලබාදීම ඇතුළු හැමදේම සිදුවෙන්නේ කුරුණෑගල අවටින්මය. මේ වාහන ගැන කිසිවකු සොයා බලන්නේ නැත. අඩුම තරමේ පොලිසියටද හසු නොවන බව ඔවුහු කියති. 

අමතර කොටස් විදියට ගලවා වාහනයක කොටස් ලංකාවට ගෙන ආ හැකිය. ගලවන කොටස් ගෙන ආ හැකිය යන වචනයට මුවා වී හැම දේම සිදුවෙයි. නමුත් වාහනයක කූඩුව නැත්නම් ෂෙල් එක ගැලවීමට බැරිය. ෂෙල් එක ලංකාවට ගෙන එන අය රේගුවේ නිලධාරීන් අල්ලාගෙන ඒවාද ලංකාවට ගෙන එයි.

එසේම වාහන අමතර කොටස් ගෙන එන සමහරු පුංචි කාර් ලංකාවට ගෙන එන ආකාරයද හරි අපූරුය. වාහනයේ රෝද හතර පමණක් ගලවා ගෙඩිය පිටින්ම කන්ටේනරයට පටවයි. එසේ පටවා රේගුවේ සමහර නිලධාරීන්ගේ උදවු ඇතිව වාහනය ගොඩ බායි. බදු අය කෙරෙන්නේ අමතර කොටස් විදියටය. නමුත් ගෙන එන්නේ ටයර් හතර පමණක් ගලවා දමමිනි. වරායෙන් එළියට ගත් පසු රෝද සවිකර වාහනය පදවාගෙනම අදාළ විකුණුම්පොළවල් වෙත ගෙන යයි.

ජපානයෙන් වාහන අමතර කොටස් හා පොඩි කාර් කන්ටේනරයට පටවන විට කන්ටේනරයේ ඇත්තේ මොනවාද කියා මෙහේ ඒ අයගේ උදව්වට සිටින රේගු නිලධාරියා දනී. ලංකාවට ගෙන එන සමහර පුංචි කාර් ලංකාවේ දිවීමට පවා තහනම් වූ ඒවාය. ඒවා නිෂ්පාදනය කර ඇත්තේ 1960-70 ගණන්වලය. එලෙස ගෙන එන පුංචි කාර්වලට ‘ශ්‍රී ’ නොම්බර ලබාදී අපූරුවට මහ පාරේ ධාවනයට ඉඩ දී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පනවා ඇති නීති අනුව වාහනයේ කූඩුව හා වර්ණය වෙනස් කිරීමට බැරිය. නමුත් අද වන විට එම දෙපාර්තමේන්තුවද දැනුවත් නොකර වාහනවලට විවිධ හැඩතල ලබාදීම, වර්ණ ගැන්වීම සිදු කරයි. සමහර ඒවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුවත් කර සමහරු මේ වැඩේ කරන අතර එවිට එය නීත්‍යනුකූලව සිදු වෙයි. එහෙත් එසේ දැනුවත් නොකර සිදුකෙරෙන වෙනස්කම්වලට නීතිය ක්‍රියාත්මක වීමක් නැත.

ජපානයේදී වාහන ගණන් නැත. ජපානයේදී ලෑන්ඩ් කෘෘෂර් ජීප් රථයක් යෙන් මිලියන 30ක් පමණ වෙයි. එය ලංකා මුදලින් රුපියල් ලක්ෂ 100-150ත් අතර මිලක් වෙයි. නමුත් ලංකාවට ගෙන ඒමේදී ඊට බදු ලක්ෂ 300-400ක් එකතු කරයි. එවිට ලංකාව තුළ එම වර්ගයේ ජීප් රථයක මිල අධිකය. නමුත් එවැනි වාහනයක් පැදීමට ආසා කරන කෙනා කරන්නේ අදාළ අමතර කොටස් ටික මිලදී ගෙන ජීප් රථයක් නිෂ්පාදනය කර ගැනීමය. ඉන් පසු පරණ වාහන අංකයකට ලියකියවිලි සකසා ගනී.

කුරුණෑගල වාහන අමතර කොටස් ගෙනැවිත් එකලස් කර හොරට වාහන හදා ලියකියවිලි සැකසීම සිදුවන්නේ 1995 සිටය. ජපානයට ගිය සමහරුන්ගේ අද ප්‍රධාන ව්‍යාපාරය මෙය බවට පත්ව තිබේ. මොකද පළාත් සභා මන්ත්‍රිවරුන්ට ලබා දුන් ජීප් රථවල චැසියට අලුත් චැසි තියා අලුත් අංක යටතේ වාහන ලියකියවිලි සැකසීම මුලින්ම සිදුවිය. එහෙත් මේ ගැන දැනගත් පසු පොලිසිය හා රේගු නිලධාරීන් වැටලීම්ද කරපු අවස්ථා ද තිබිණි. 

ඉක්මනින් මුදල් සෙවීමේ අරමුණින් කෙටි මං ඔස්සේ සිදුවන වාහන ජාවාරමට කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ බොහෝ දෙනෙක් හසු වී සිටිති. සමහරු තමන් මිලදී ගෙන ඇත්තේ හොරට හැදූ වාහනයක් බව දනිති. සමහරු දන්නේ නැත. කුරුණෑගල පමණක් නොව ලංකාව පුරාද තවත් පිරිස් මීට ගොදුරු වී සිටිති. ගුරුවරු, ලිපිකරුවන්, පෞද්ගලික අංශ සේවකයන් එලෙස හසු වූ පිරිස් අතර ඉදිරියෙන්ම සිටිති. මේ වන විට කුරුණෑගල ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක ගුරුවරු ගුරුවරියන් රැසක්ම හොරට හැදූ වාහන මිලදී ගෙන ඇතැයිද වාර්තා වෙයි. වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලට වාහන මිලදී ගැනීමට හැකිවීමෙන් ඔවුන් වංචාකරුවන්ට හසු වී තිබේ.

එසේම වාහන අමතර කොටස් ගෙන්වන අය කරන තවත් වැඩක් තිබේ. ඒ වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය කෙනාගෙන් මුදල් ලබාගෙන වාහනය කැබලි කර ගෙන්වා පසුව සවිකර දෙයි. වාහනය පරණ අංකයක් යටතේ ලියාපදිංචි කර වෙළෙඳපොළට වඩා අඩු මිලට ලබා දෙයි.

මේ නිසා අද වන විට කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පරණ වාහන පොත්වලට වැඩි ඉල්ලුමක්  ඇති වී තිබේ. ජපානයේ වාහනයක් වසර දෙකහමාරක් ගිය විට ඒවායේ මිල අඩු වෙයි.  එම වාහන විකුණ­ූ පසු ලංකාවට එන විට මිල වැඩි වෙන්නේ බදු නිසාය.

ජපානයේදී වාහනයක ‍ෙදාරක් සඳහා බදු ගෙවීමට සිදුවෙන්නේ එක් ‍ෙදාරකට ලංකා මුදලින් රුපියල් 2500කි. ‍ෙදාරවල් 4ට 10,000කි. මේ ආකාරයට අඩු මිලට ගෙන එන අමතර කොටස් යොදා හදන සුඛෝපභෝගී ජීප් රථයක් රුපියල් ලක්ෂ 30කට මිලදී ගත හැකිය.

අමතර කොටස් යොදා වාහන හොරට හදා පරණ අංකවලට ලියාපදිංචි කරන වාහන ගැන කාටවත් දැනුමක් නැත. රජයේ වාහනවලට එක් අංකයකි. සුඛෝපභෝගී වාහන සඳහා ඇති අංක වෙනස්. මේවා ගැන ජනතාව දන්නේ නැත. තමන් මිලදී ගන්නේ හොඳ වාහනයක්ද කෑලි එකතු කර හෝ ‘බට් කළ වාහනයක්ද කියා මිනිස්සු දන්නේද නැත.

මේ අතර හොරට ලියාපදිංචි කළ වාහනද තිබේ. සමහර වාහන අද භාවිතයේ නැත. 1980 පැදපු වාහන අද දුවන්න බැරිය. නමුත් මේ වාහනවල අංක මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු වෙයි. එම අංක නැවත වරක් පාවිච්චි කරමින් හොරට වාහන ලියාපදිංචිය සිදු කරයි. අද වාහන පදින කී දෙනෙක් තමන්ගේ වාහනයේ පොත හරි එකක්ද හොර එකක්ද කියා තෝරා බේරා ගැනීමට දන්නේ නැත.

පදින ලද වාහනයක් ජපානයේ විකිණෙන්නේ එන්ජින් මිලටය. එවැනි වාහනයක ජපානයේ මිල නියම වෙන්නේ කොළ ගාණ අනුවය. එක් කොළයක් යනු යෙන් 10,000කි. වාහන විකිණෙන විට විකිණෙන්නේ කොළයක් යෙන් දෙකකටය. නැත්නම් තුනකටය. ලංකා මුදලින් රුපියල් 30,000කටය. නැත්නම් රුපියල් 45,000ක මුදලකටය. මේ විදියට ගන්න වාහන කැබලි කර හෝ කපා ලංකාවට ගෙන්වීම සිදු වෙයි. 

එසේම ලොරි රථ ටිපර් කරන ක්‍රමයක්ද කුරුණෑගල සිදු කරයි. අඩි 14 දිග චැසියක්, අඩි 18ක් වන තෙක් අඩි 4ක කැබැල්ලක් ‘බට්’ කරයි. ඉන් පසු එම ලොරිය ටිපර් රථයක් ලෙස හැදෙයි. එසේම සාමාන්‍ය ලොරි රථවලට බූට් එකක් සවිකර එය බට් ට්‍රක් එකක් ලෙස ලියාපදිංචි කරයි. 

මේ සඳහා රුපියල් ලක්ෂ 5-10ක මුදලක් වියදම් කළොත් ඇතිය.

කුරුණෑගල ලියාපදිංචි වාහන විකුණන සමහර ස්ථානවලට ගිය පසු ඔවුන් අපට කියා සිටියේ නොම්බරය හදා ගන්න පුළුවන් නම් හොඳ වාහනයක් ලක්ෂ 20කට දෙන්නම් කියාය. වැහැර, යම්තම්පලාව, යක්කල ආදී ප්‍රදේශවල වාහන අංගණ පවතින අතර ඒවායින් එකකට ගොස් අවශ්‍ය වාහනය බැලිය හැකි බවටද වාහන ජාවාරමේ යෙදෙන අය කියති. අලුත්මල්කඩුවාව පැත්තේ ජීප් රථ වගයක් උකසට ගත් අයකු සතුව තිබී හොරට හැදූ ජීප් රථ දෙකක් රේගු නිලධාරීන් සොයාගෙන තිබිණි. උකස් ගන්නා කෙනාද තමන් මිලදී ගත්තේ  හොරට හැදූ වාහන බව නොදැන බවද වාර්තා වෙයි.

රේගුව මඟින් අත්අඩංගුවට ගන්නා හොරට හැදූ වාහන විනාශ කරන්නේ නැත. ඒවා වෙන්දේසියේ  දමයි. නැවතත් එම වාහන පාරටම දමයි. වාහන කපලා ගෙනඑන එක තහනම් වුවත් රේගුව ඇතුළෙත් එම වාහන එළියට යන හැටිද හරි අපූරුය. 

රේගුවට හොරා මෙරටට ගෙන්වන වාහන අමතර කොටස් රේගුව ලවාම බලහත්කාරයෙන්ම ඇල්ලීමටද සිදු කෙරෙයි. එහිදී හසුවෙන්නේ වාහනයේ ඉදිරිපස කොටස වන්නට පුළුවන. අමතර කොටස් ගෙන එන කෙනා වාහනයේ පිටුපස කොටස වෙනම නියම ලෙස ගෙන්වයි. අල්ලන ලද කොටස් වෙන්දේසියේ දාන විට පිටුපස කොටස ගෙන ආ පුද්ගලයා එය අඩු මිලට ගනී. මොකද වාහනයක ඉදිරිපස කොටස පමණක් වෙනත් අයකුට අරගෙන වැඩක් නැත.

මේ වෙන්දේසිවලට යන වෙනම කොටසක්ද වෙති. ඒවාට හැමෝටම යෑමට බැරිය. රාජ්‍ය ආයතනවල වෙන්දේසි කරන වාහන වෙන්දේසියට දමන්නේ පාරේ දුවන්න බැරි නිසාය. එහෙත් එම වාහන මිලට ගන්නා අප ඊට වඩා හොඳ තත්ත්වයක ඇති අමතර කොටස් යොදා එම අංකයටම වාහනය පාරේ දුවයි. එසේම වාහන කොටස් කපාගෙන එන වාහන රේගුවෙන් නිසි පරීක්ෂාවට ලක්වෙනවා දැයි විමසිය යුතුය. තම හිතවතුන්ගේ වාහන එන විට ඒවා එන කන්ටේනරය ස්කෑන් කළ විට නිරීක්ෂණය කරන නිලධාරියා එය දකින්නේ බොඳ වූ චිත්‍රයක් ලෙසය. ඒ ආකාරයටමද වාහන කපා ගෙන්වන කොටස් රේගුවෙන් පන්නන ක්‍රම තිබේ. රේගුවේ සිටින සමහර ලිපිකරුවන්ගේ සිට සමහර රේගු නිලධාරීහුද මේ වැඩේට උදවු කරති. 

1994 – 95 වසර වන විට වාහනවල අංකයේ එකතුව 13 එන අංක නිකුත් කළේ ඒ 13 අසුබ නිසාය. නමුත් දැන් පාරේ ඉංග්‍රීසි අංකය ද සහිතව එකතුව 13 එන අංකය සහිත වාහන ඕන තරම් තිබේ. 

මේ ආකාරයට හොරට වාහන ලියාපදිංචිය සහ ලියකියවිලි යොදා විකිණීම දැන් සෙල්ලමක් වී තිබේ. නාරාහේන්පිට මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට තැරැව්කරුවන් අත ඕනතරම් පොත් සහ බලපත්‍ර තිබේ. ඕනෑම වාහන අංකයක් ඒ විදියටම සාදයි. 

වාහනයක් ලියාපදිංචි කිරීමට පෙර නාරාහේන්පිට මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තාක්ෂණික අංශයේ නිසි අධීක්ෂණයකට ලක්වෙයි. වාහනයක් අලුතින් ලියාපදිංචිය හෝ නැවත අලුත් අංක ලබාදීමේදී එහි තාක්ෂණික අංශ ප්‍රධානීන්ගේ නිර්දේශ මතය. නමුත් එම නිර්දේශ පසෙකලා හොරට වාහන ලියාපදිංචිය හා අංක ලබාදීම ජයට සිදුවන බවට තොරතුරු තිබේ.  

එහෙත් මේ ගැන අප මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විමසන විට එහි නිලධාරියකු අපට කිව්වේ අප ළඟ ඇති තොරතුරු ඔහුට දෙන ලෙසයි. ඉන්පසු තොරතුරු දෙන්නම් කියාය. එහෙත් අප ඊට කැමැති වූයේ නැත. 

එසේම මේ ගැන තවදුරටත් විමසීමේදී අපට සොයාගත හැකිවූයේ මෝටර්රථ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (තාක්ෂණ) ගේ නිර්දේශවලට පිටින් හොර රහසේ ‘බට්” කළ වාහන සහ උපාංග එකතු කොට හදපු වාහන ලියාපදිංචිය හා වාහන අංක ලබාදීම හොර රහසේ සිදුවන බවයි. 

ශ්‍රී  ලංකාවට වාහන ගෙන්වීමේදී ගෙන්විය හැකි වාහන මේවා යැයි ලැයිස්තු කර තිබියදී ධාවනයට නුසුදුසු වාහනද අලුත් අංක ගසාගෙන මහ පාරේ දුවයි. රජයේ ආයතන හෝ් වෙනත් ආයතනයක ධාවනයට නුසුදුසු වාහන ඉවත්කළත් ඒවායේ අංක මෝටර්රථ දෙපාර්තමේන්තුව සතුව වෙයි. එම අංක ඉවත් වීමක් සිදුවන්නේ නැහැ. එම අංක ඉවත් කළාද කියා නියාමනය කිරීමට තොරතුරු නැත. ඉන් ප්‍රයෝජන ගන්න වාහන ජාවාරම්කරුවන් අති දක්ෂය. 

වාහන කැබලි එකතු කර අලුතින් වාහනයක් හදන විට එය නිර්මාණය වෙන්නේ පරණ චැසි අංකයකටය. එම චැසි අංකය සමඟ ලියාපදිංචියට අදාළ ලියකියවිලි සමඟ අංකයක් ලබාගැනීමේදී ප්‍රවාහන දෙපාර්තමේන්තුවට වාහනය පෙන්වීමක් කරන්නේ නැත. වාහනයට අදාළ ලියකියවිලි පමණක් පරීක්ෂා කර බලා පරිගණක ගතකර අනුමැතිය ලබාදෙයි. ලියකියවිලි පරීක්ෂා කිරීමේදී ඒවාද නිවැරැදිය. ලියකියවිලිද සමඟ මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යන පුද්ගලයා ලියාපදිංචි අංශයේ අයකු අල්ලාගෙන ලියාපදිංචි නැති වාහන අංකයක් ලබාගනී. මේවා වෙන්නේ හොර රහසේය. සමහර විටෙක මුදල් මත මෙම ගනුදෙනු සිදුවෙයි. නැත්නම් හිතවත්කම් මතය. 13 එකතුව එන වාහන අංක නිකුතුව නතර කර ඇතැයි මෝටර් රථ දෙපාර්තමේන්තුව කීවත් මේ ආකාරයට හෝ රහසේ 13 එකතුව අංක නිකුත්වන බව තාක්ෂණික අංශයේම අය කියති. 

වාහන අංක පරීක්ෂා කරන විට වාහන අංක හිස්ව තිබෙන බව දන්නේ මෝටර්රථ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය සහ වාහන ලියාපදිංචි අංශය පමණි. අදාළ පරිගණකවලට යෑමේ පරිගණක රහස් මුර පදය දන්නේද ඔවුන්මය. කෙසේ හෝ මෙම රහස් මුර පදය සොයාගන්නා කෙනා අදාළ වාහන ලියාපදිංචිය හොර රහසේම සිදුකරයි. එම ස්ථාන දෙකෙන් අදාළ දත්ත පරිගණක ගතකළ පසු නැවත පරිගණක පරීක්ෂා කිරීමේදී අදාළ දත්ත හරි අපූරුවට පරිගණකයට ඇතුළත් වී හමාරය. අදාළ ලියකියවිලි බලා පමණක් මේ අය වාහන ලියාපදිංචිය සිදුකරයි. 

වාහන වශයෙන් ගෙන්වන්නේ නම් රජයට බදු ගෙවිය යුතුයි. නමුත් වාහන කොටස් ගෙන්වා එම බදු මුදල රටට අහිමි කරන බදු මුදල අතිමහත්ය. 

වාහනයක් ලියාපදිංචි කිරීමේදී අදාළ වාහනය ලියාපදිංචියට සුදුසු නැතැයි කියා තාක්ෂණික අංශයේ ප්‍රධානියා නිර්දේශ කර අදාළ ෆයිල් ලියාපදිංචියෙන් ඉවත් කිරීමට නිර්දේශය යන්නේ නැත. අදාළ නිර්දේශය සහිත කොළයේ ස¼දහන් වෙන්නේ මේ වාහනය ධාවනයට නුසුදුසුයි කියාය. නමුත් එම නිර්දේශය හංගා අදාළ වාහනය ලියාපදිංචිය සිදුකරන අවස්ථා තිබේ. එම ෆයිල් එකට මුවා වී තවත් වාහන 4-5ක් එලෙස ලියාපදිංචි කරන අවස්ථාද තිබේ. 

හොරට හැදූ වාහන හසුවුවත් ඒවාට නීතිය ක්‍රියාත්මක කිරීමට බැරි තත්ත්වයක්ද උදා වී තිබේ. මන්ද යත් අදාළ වාහනයේ දත්ත ඇත්තේ පරිගණකයේ පමණි. නමුත් ඊට අදාළ ෆයිල් එකක් නැත. ෆයිල් එකක් තිබිය යුතුවුවත්  ඒවා අස්ථාන ගතවී තිබේ. මේ ආකාරයට රටේ ඇති බොහෝ වාහනවල ෆයිල් නැත. නීතිමය කටයුතුවලදී වාහනයේ ෆයිල් එක ඉල්ලූ විට මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කරන්නේ ෆයිල් එක නැහැ කියන එකය. 

ෆයිල් එක නැත්නම් එම දත්ත පරිගණක ගතකළ නිලධාරියා කවුද කියා සොයා නීතිය ක්‍රියාත්මක කළ හැකිය. නමුත් එයද සිදුවන්නේ නැත. 

හොරාට වාහන ලියාපදිංචි කිරීම හරහා ලාභ ලබන පිරිස් මෝටර්රථ දෙපාර්තමේන්තුව තුළ සිටිති. ඔවුන්ගෙන් බොහෝමයක් රාජ්‍ය සේවයේ වසර 5න් 5ට මාරුවීම් ලබන අය බවද කියැවෙයි. මෝටර්රථ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු ප්‍රකාශ කළේ වසර 5ක් ඇතුළත හම්බ කරගෙන යෑම හැර වෙන ඉලක්කයක් ඔවුන්ට නැති බවයි. එසේම මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ තමන්ට විශ්වාස තමන් සේවය කරන කොටස පමණක් බවද ඔහු කීය. 

අපි මේ ගැන මෝටර්රථ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (තාක්ෂණ) ජේ.ඒ.එස්. ජයවීර මහතාගෙන්ද විමසුවෙමු. එහිදී ජයවීර මහතා කියා සිටියේ ධාවනයට නුසුදුසු වාහන නම් කර එ්වා ධාවනයට නුසුදුසු යැයි කියා ලියාපදිංචියට නොයවන බවයි. නමුත් එම වාහන හොර රහසේ ලියාපදිංචි කරනවා කියන චෝදනාව එන නිසා අදාළ වාහනවල ෆයිල් තමන් සතුවම තියාගන්නා බවයි. එසේම හොරට ලියාපදිංචි කර ඇති වාහන අංක ලබාදිය හැකිනම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන බවද ජයවීර මහතා කීය. 

මේ සම්බන්ධව අපි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතාගෙන්ද මේ ගැන විමසුවෙමු. එහිදී කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ එවැනි හොරට ලියාපදිංචි කිරීමක් කිසිවිටෙක සිදු නොවන බවයි. රේගුවෙන් සහ බැංකුවෙන් ලබා ගන්නා ණයවර ලිපි මෙන්ම වාහනයට අදාළ අනෙකුත් ලියකියවිලිද පරීක්ෂා කර බලා සුදුසු නම් පමණක් ලියාපදිංචි කරන බවයි. වාහනයට නුසුදුසු වාහන ඉවත් කරන විට ඒවායේ අංකද පරිගණක දත්තවලින් ඉවත් කරන බව කොමසාරිස් ජනරාල්වරයා කීය. 13 එකතුව එන වාහන අංක ලබාදීම සම්පූර්ණයෙන්ම නවතා ඇති බවද කීය. 

ප්‍රගීත් සම්පත් කරුණාතිලක 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here